ආසියානු කුසලාන රග්බි තරගාවලියට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි

25

මීළඟ ආසියානු කුසලාන පිරිමි රග්බි පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඉකුත් සෙනසුරාදා (19දා) සවස සමත් විය.

ශ්‍රී ලංකාව සහ ප්‍රතිවාදී මැලේසියාව අතර කොළඹ හතේ රීඩ් මාවතේ පිහිටි පැරණි තුරඟ පිටියේ දී ක්‍රියාත්මක කෙරුණු තීරණාත්මක තරගයේ දී ලකුණු 40 ක පහසු ජයග්‍රහණයක මිහිර අත්විඳිමින් මීළඟ ආසියානු කුසලාන තරගාවලියට වරම් ලබා ගැනීමට නයිජල් රත්වත්තේ ගේ නායකත්වයෙන් සැදුම්ලත් වූ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එහි දී හැකියාව ලැබිණි.

මෙම තරගයේ දී මැලේසියාව සටහන් කර ගත් ලකුණු 19 ට එරෙහිව ලකුණු 59 ක් වාර්තා කර ගනිමින් අදාළ ජයග්‍රහණයේ මිහිරි රස පානය කිරීමට ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන් හට හැකියාව ලැබීම කැපී පෙණුනි.

තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ලකුණු 33 – 07 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ප්‍රතිවාදී මැලේසියානු ක්‍රීඩකයන් ගේ ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව මැනවින් හඳුනා ගනිමින් ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන් දියත් කළ සටන්කාමීත්වය ප්‍රශංසනීයය. තරගයේ මුල, මැද, අග මැනවින් කළමනාකරණය කරමින් කණ්ඩායමක් ලෙස අන්‍යොන්‍ය සම්බන්ධතාවයෙන් යුතු පන්දු හුවමාරුව මෙම තරගයේ දී ඉහළ අගයක් ගත්තේය. ශාරීරික යෝග්‍යතාව මෙන්ම මානසික ඒකාග්‍රතාවය ද නියතව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ගත් උත්සාහය ද අගය කළ යුතුය. එහි ප්‍රතිඵලයක් ලෙස හොංකොං දේශය, කොරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග ක්‍රියාත්මක කෙරෙන “ආසියානු කුසලාන” තරගාවලියේ දී ශ්‍රී ලංකාව ද දැක ගැනීමට හැකිවේ. ජපානය හැරුණු විට කලාපයේ හොඳම රටවල් 04 අතරේ “ආසියානු කුසලාන” ප්‍රමුඛ පෙළ තරගාවලිය ක්‍රියාත්මක කෙරේ.

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල් දිනුම් 07 ක් සහ උත්සාහක දිනුම් 02 ක් මගින් තම ලකුණු පුවරුව ඉහළ නැංවීමට සමත් වූ අතර ගෝල් දිනුම් 02 ක් සහ එක් උත්සාහක දිනුමක් ආශ්‍රිතව මැලේසියා කණ්ඩායමේ ලකුණු එකතුව සටහන් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සනාථ කළ ඩිනාල් ඒකනායක 03, ජනිඳු ඩිල්ෂාන් 02, ධනුෂ්ක රන්ජන් 01, ආකාෂ් මධුශංක 01, නවීන් මාරසිංහ 01 සහ දහන් වික්‍රමාරච්චි 01 බැගින් උත්සාහක දිනුම් රැස් කළහ.

එහි ප්‍රවර්තන 07 ක් ප්‍රතිවාදී ගෝල් කණු අතරින් නිවැරදිව එල්ල කිරීමට මුර්ෂීඩ් සුබයිර් සමත් වූයේ තම නිසර්ග හැකියාව මැනවින් ප්‍රදර්ශනය කරමිනි.

මැලේසියාව වෙනුවෙන් ප්‍රබල ආක්‍රමණයක නිරත වූ එටෝනියා වාගා උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කරමින් කැපී පෙණුනි. එහි එක් ප්‍රවර්තනයක් මුහම්මද් අමිරුල් අකික් ගේ පාදයෙන් ද තවත් එක් ප්‍රවර්තනයක් මොහොමඩ් නස්රීන් ෆිට්රි ගේ පා පහරින් ද සාර්ථක විය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර


advertistmentadvertistment