ආසියාවේ ආලෝකය නිවෙන්නට ඉඩ නොදෙමු

175

2025 මැයි මස 11 වැනිදා ඉරිදා

ලොව පුරා සිටින ලක්‍ෂ සංඛ්‍යාත බොදු බැතිමත්හු ලබන සඳුදා බුදු තෙමඟුල සමරති. මේ සැමරුම යෙදෙන වකවානුව ලෝක සාමයට අතිශයින් වැදගත්ය. මන්දයත් බුදුන් උපන් භූමියේ පිහිටි න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙක් මේ වෙලාවේ දී එකිනෙකා සමග සටන් කරමින් සිටිති. ඉන්දියාව සහ පාකිස්තානය යන මේ දෙරට න්‍යෂ්ටික බලවතුන් වන අතර මේ යුද්ධය දිගින් දිගටම ඇදුනොත් න්‍යෂ්ටික අවි පාවිච්චි කිරීමට පාර්ශ්ව දෙකටම සිදුවනවා ඇත. එවැනි න්‍යෂ්ටික යුද්ධයක් හට ගත්තොත් එහි පළමු වින්දිතයන් බවට පත් වීමට අපට සිදුවේ. අප ද බුදු තෙමඟුල සමරන්නේ එවැනි අන්තරාදායක අවස්ථාවක සිටය.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ සාමය පිණිසම කැප වුණු දහමකි. පවුලේ සාමය, ගමේ සාමය, ප්‍රදේශයේ සාමය, රටේ සාමය සහ ලෝක සාමය වශයෙන් පියවරෙන් පියවරට යන දීර්ඝ දැක්මක් බුදුදහමට තිබේ. අද යුද්ධයෙහි නිරතව සිටින පාකිස්තානය සහ ඉන්දියාව යන දෙරටම බුදුදහමේ අගය දනිති. ඉස්ලාමීය රටක් වුවද පාකිස්තානය බුදුදහමට මහත් සේ ගරු කරයි. බුදුදහමේ පෞරාණික වස්තු, ධාතුන් වහන්සේලා සහ වන්දනීය ස්ථාන පාකිස්තානයේ පිහිටා ඇත. ඇතැම් ඉස්ලාමීය ආක්‍රමණිකයන් විසින් ඒවා විනාශ කළ ද පසුකාලයේ දී බලයට පත්වූ ප්‍රජාතන්ත්‍රවාදී පාකිස්තාන නායකයන් විසින් එකී බෞද්ධ පුරාවස්තු සංරක්‍ෂණය කර මතු පරපුරට දැක බලාගැනීම සඳහා කෞතුකාගාරවල තැන්පත් කරන ලදී. ඉන්දියාවේ බහුතරය හින්දු ආගමිකයන් වුවද එරට තුළ බුදුදහමට විශේෂ තැනක් තිබේ. බුදුන්වහන්සේ උපන් භූමිය ඉන්දියාවම බව පසුගිය දිනෙක ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේය. ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ විශාල බෞද්ධ ගම්මාන පිහිටා ඇත. ඒ ගම්මානවල සිටින්නෝ දෙමළ බෞද්ධයෝ ය. දෙමළ බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා වැඩසිටින පන්සල් සෑහෙන තරමක් ඉන්දියාවේ තිබේ. ලෝකයේ විශිෂ්ටතම දහමක් වූ බුදුදහම තම රටේ උපන් ශාස්තෘවරයකු විසින් දේශනා කළැයි කීම ඉන්දියානුවන් සලකන්නේ ගෞරවයක් ලෙසටය. බුදුන් වහන්සේ ජීවත් වූ කාලයේ දී සමස්ත ඉන්දියානු අර්ධද්වීපයම සොළොස් මහා ජනපද ලෙස හඳුන්වනු ලැබීය. ඒ ජනපදවල විවිධ ආගම් තිබූ නමුත් බුදුදහමේ නැඟීමත් සමගම එම ආගම් යටපත් විය. මේ ඇතැම් ආගම් ගනුදෙනු කළේ සර්ව බලධාරී දෙවි කෙනකු සමගය. එහෙත් බුද්ධ ධර්මය සිය ගනුදෙනුව කළේ මනුෂ්‍යයා සමගය. කෙලෙස් ප්‍රහීන කර යහපත් ජීවිතයක් ගත කිරීමට හැකි නම් නිවන්මඟ සඳහා ගමන ආරම්භ කළ හැකි බව බුදුන්වහන්සේගේ මතය විය. උන්වහන්සේ මෙම මතය නිදහසේ සහ නිර්භයව ප්‍රකාශ කළහ. එකල තිබූ අනෙක් ආගම්වලින් උන්වහන්සේ මැඬපැවැත්වීමටත්, උන්වහන්සේ විනාශ කිරීමටත් බලගතු ව්‍යාපාර දියත් කළහ. එහෙත් බුදුහු කිසි කලෙකත් ඒ ව්‍යාපාර ගණන් ගත්තේ නැත. බුදුරජාණන් වහන්සේ යනු රජුන්ට මෙන්ම යකුන්ට ද එකසේ නොබියවූ ප්‍රඥාවන්තයෙකි.

අප ඉහතින් විස්තර කළ කාරණය මේ වනවිට මුළු ලෝකයම පිළිගෙන තිබේ. ඒ අතර බුදුදහමේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉන්දියානු රජය පෙනී සිටින ආකාරය කෙරෙහි අප තුළ ඇත්තේ ඉමහත් ගෞරවයකි. ඒ සඳහා වඩාත්ම ආසන්න නිදර්ශනය මෙසේය. මෙයට අවුරුදු 120 කට පෙර බ්‍රිතාන්‍යයේ විසූ සුද්දෙක් පුරාවස්තු කැණීමක දී කුඩා පුරාවස්තු කැබලි 1800 ක ප්‍රමාණයක් සොයා ගත්තේය. බුදුන්වහන්සේගේ ධාතුන් වහන්සේලා ලෙස සැලකෙන අස්ථි කොටස් ද බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදුන්වහන්සේ දවන ලද සෑයේ අළු ලෙස සැලකෙන කොටස් ද, කුඩා රතු කැට, කුඩා නිල් මැණික් ඇතුළු කුඩා ප්‍රමාණයේ මැණික් ගල් දහසක් පමණ ද මේ පුරාවස්තු එකතුවට ඇතුළත් ය. පසු කාලයේ දී පෙර කී සුද්දාගේ පවුලේ අය මේ පුරාවස්තු එකතුව රැගෙන එංගලන්තය බලා ගියහ. ඉන් පසු අවුරුදු 80 ක් පමණ යනතුරු මේ පුරාවස්තු ගැන කිසිදු ආරංචියක් ලැබුණේ නැත. එහෙත් මීට තෙසතියකට පමණ පෙර ලෝකයේ තිබෙන ප්‍රධානතම වෙන්දේසිකාර සමාගමක් වූ සොතබි සමාගම මේ පුරාවස්තු එකතුව ඩොලර් මිලියන 9 කට විකිණීම සඳහා යන බවට දැන්වීමක් ප්‍රසිද්ධ කළේය. මෙය දුටු වහාම කුපිත වූ ඉන්දියානු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සොතබි සමාගමට නෛතික ලියවිල්ලක් යවමින් එම පුරාවස්තු විකිණීමට එරෙහිව හොංකොං උසාවියකින් තහනම් නියෝගයක් ගන්නා බව ප්‍රකාශ කළේය. මේ අනුව සොතබි සමාගම විසින් වෙන්දේසිය නවත්වන ලදී. ඉන්දියාව නොසිටින්නට මේ පූජනීය ධාතුන් වහන්සේලා එකතුව විකිණෙනවා ඇත. මේ පුරාවස්තුවල වැදගත්කම වැඩියෙන්ම තිබෙන්නේ ලංකාවට ය. එයට හේතුව ථෙරවාදී බුදුදහම අදහන වැඩිම පිරිසක් සිටින රට ශ්‍රී ලංකාව වීමය. එහෙත් මේ පුරාවස්තු සමූහය විකිණීමට එරෙහිව ආණ්ඩුව කිසිවක් කීවේ නැත. ආණ්ඩුවට මෙවැනි වෙන්දේසියක් නැවැත්වීමට තරම් ශක්තියක් ද නැත. නරේන්ද්‍ර මෝදි කතා කරන විට එය අසා සිටීමට ලෝකයම සූදානම් ය. ඉන්දියාව පුරාවස්තු වෙන්දේසිය තහනම් කරමින් ලංකාවේ බෞද්ධයන්ට ද අප්‍රමාණ ගෞරවයක් අනියම් ආකාරයකින් කර තිබේ.

බුදුදහමේ අයිතිවාසිකම් සහ දේශනා බෙදා හදා ගෙන සිටින ඉන්දියාව සහ පාකිස්තානය යුද්ධයකට එළැඹීම අපට කිසිසේත්ම දරා ගැනීමට නොහැක. මේ ගහමරා ගන්නේ බුදුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය ගැටුණු භූමියක ජීවත් වන එක පවුලේ සාමාජිකයන් වැනි පිරිසකි. ඉන්දියානුවන් සහ පාකිස්තානුවන් වෙනස් වෙන්නේ ආගමෙන් පමණි. ජානමය වශයෙන් ගත් කල ඔවුන් සතුව පොදු ලක්‍ෂණ තිබේ. භාෂාවේ මූලයන් ලෙස ගත්ත ද මේ රටවල් දෙකම පොදු ලක්‍ෂණ සහිත භාෂා කතා කරති. මෙයට අවුරුදු 2500 කට පෙර ඉන්දියාවෙන් පටන් ගන්නා බුදුදහම පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය හරහා ග්‍රීසිය දක්වාම ගමන් කර ඇත. අනෙක් පැත්තෙන් නේපාලය හරහා චීනය තෙක්ම එම උතුම් දහම ගමන් කර ඇත. ඒ අනුව මේ වෙසක් සමයේ දී සියලු එදිරිවාදිකම් දුරලා සමගි වීමට ඉන්දියාවට සහ පාකිස්තානයට හැකි නම් එය මනුෂ්‍ය වර්ගයාට කරන සුවිශාල ගෞරවයක් ලෙස අපි සලකමු.


advertistmentadvertistment