එක හුස්මට සුද්ද කරපු අපූරුව
ෆේස්බුක් සුද්ද කිරිල්ල
බෑග් සෙරෙප්පු නුවර දාලා ගියේ ඇයි
නුවරින් කොළඹට කුණුකෝච්චියක් යයිද…?
මේ ලියන්නේ මැයි මස දෙවැනිදා සිකුරාදා පස්වරුවේය. පූජනීය දළදා වන්දනාව නිමා වූයේ අප්‍රේල් මස 27 වැනි ඉරිදාය. හරියටම අදට දින පහකට ඉහතදීය.
විසිහත් වැනි ඉරිදා පස්වරු පහේ සිට විසි අටවැනිදා පස්වරු පහ දක්වා කාලය තුළ මහනුවර දළදා මාලිග පරිශ්‍රය, බැතිමතුන් රැඳී සිටි වැවරවුම, රතු බෝක්කුව, අම්පිටිය පෙදෙසට වන්නට වන පාර මහනුවර නගරයේ සිට කටුගස්තොට දක්වා වූ මාර්ගය පිරිසිදු කළේ එක හුස්මටය.
ඒ සඳහා සහභාගි වූ පිරිස තුන්දහසකට ආසන්නය. මහනුවර මහ නගර සභාවේ කම්කරු පිරිස ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන ස්වේච්ඡා සංවිධාන, බාලදක්ෂ ව්‍යාපාර ලංකාව පුරා පොලිස් ස්ථානයන්හි පරිසර කමිටු නිලධාරීන්, clean sri lanka කණ්ඩායම, මහනුවරට ආසන්න පොලිස් ස්ථානයන්හි නිලධාරීන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, මහනුවර නගර සභා බල ප්‍රදේශයේ ග්‍රාම සේවා කොට්ඨාස හතලිස් පහ තුළ වූ පරිසර කමිටු සංවිධාන සහ මහනුවර නගර වැසියන් මේ පවිත්‍රතා වැඩසටහනට සහභාගි වූහ.
පවිත්‍රතාවයේ ආදීනව
එහි වූ ඇතැම් සංවිධාන නියෝජනය කළ පිරිස් පවිත්‍රතා කටයුතුවලට සහභාගි වූයේ ඡායාරූප ගැනීමේ අවශ්‍යතාවය මත පමණි. ඔවුහු ඉදල් කොහු රැගෙන පවිත්‍රතාවේ යෙදෙන අන්දම වීඩියෝ කරමින් ඡායාරූපගත කරමින් වෙනත් අවශ්‍යතාවයන් ඉටු කර ගන්නා බවක් පෙනිණි. ඔවුන්ගේ පවිත්‍රතා වැඩසටහන් විසිඅටදාට පසුව මුහුණු පොතෙහි පිටු අතර සැරිසරමින් මහනුවර සුද්ද කළ උජාරුව ලොවට ප්‍රදර්ශනය කර තිබිණි.
සාමාන්‍ය කම්කරු පිරිස් වෙනදා මෙන් මහනුවර නගරයේ අපවිත්‍ර වීමට වැඩි ඉඩක් පවතින ස්ථාන තෝරා බේරා ගනිමින් අපද්‍රව්‍ය සියල්ල එක් රැස්කොට රැගෙන ගියාහ. සද්භාවයෙන් පවිත්‍රතා වැඩසටහනට සහභාගි වූ බොහෝ දෙනා නගරයේ සහ වැව රවුමේ වැටී තිබූ කුඩා කොළ කැබැල්ල පවා අතින් ගෙන ඉවත් කළහ.
28 දින වන විට කැළිකසළ කුණු සියල්ල එක් රැස්කොට ගොහාගොඩ කසළ අංගනයට රැගෙන ගිය බව මහනුවර නගර සභාවේ ඉංජිනේරු අපජල සහ ඝන අපද්‍රව්‍යය නාමල් දිසානායක මහතා කියා සිටියේය. එය ප්‍රමාණාත්මකව ටොන් 600කට ආසන්න බවද හෙතෙම කියා සිටියේය.
සපත්තු බෑග් මහනුවර දමා ගියේ ඇයි?
මහනුවරට ඇදී ආ ලක්ෂ පහළොවකට වැඩි මහා ජනතාව අතරින් බහුතරයක් පයේලා සිටි සපත්තු දෙක අමතක කර ගියේ කෙසේදැයි නොදනිමි. කනකර පවා රෙදි කැබැල්ලක ගැටගසා දහස් ගණන් මුදලුත් සමග කරේලූ මල්ලට ඔබා සිටි බහුතරයකට තමන්ගේ මල්ලේ වටිනාකම අමතකව ගියේ කෙසේදැයි නොදනිමි. ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් නිදන්ගත රෝගීන් ඊළඟ බෙහෙත් වේලෙන් තමන්ගේ ජීවිතය ගොඩගන්නට බලාපොරොත්තු පොදි බැඳ සිටින්නට ඇත. ඒ සියල්ල අමතක කරමින් ජීවිතයේ නිස්සාර බව අවබෝධ කරගැනීම මත බෙහෙත් තුණ්ඩු සායන පොත්පත් මහනුවර දමා ගියේ දැයි නොදනිමි.
අදටත් බොහොමයක් සායන පොත්පත් මහනුවර තිබෙන්නේ අයිතිකරුවන් සොයා ගත නොහැකිව ය. මහනුවර දමා ගිය ගමන් මලු, සෙරෙප්පු ලක්ෂ ගණනක පිරිසකගේ විය හැකිය. ඒවා පොලිසිය භාරයේ සහ සිවිල් ආරක්ෂක බලකාය සතුව තිබූ හෙයින් අදටත් තැන තැන තබා අයිතිකරුවන් පැමිණෙන තෙක් බලා සිටින සෙයක් දක්නට ලැබෙයි.
මහනුවර මහනගර සභාවට හිමිවූ ගමන් මලු, සෙරප්පු අතරින් ඒවායෙහි අඩංගු වටිනා කියන දෑ ලිපින සොයා ඒ ඒ නිවෙස් වෙත යැවීමට කටයුතු කර තිබිණි. ඒවා තම තමන්ට හමු වූයේ දැයි පසු දැනුම් දීමක් සිදුකළ අය සිටියේ නැති තරම්ය.
තවමත් නොගැලවූ අට්ටාල
බැතිමතුන්ගේ ප්‍රවිෂ්ට මාර්ග සඳහා අට්ටාල ඇටෙව්වේ මහනුවර මහ නගර සභාවෙන් පළාත් සභා ඉංජිනේරු දෙපාර්තමේන්තුවෙන් ත්‍රිවිධ හමුදාවෙන් ගඟවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්ය.
ඒ ඒ ආයතනයන්හි හැකියාව කැපවීම මත අට්ටාල ගැලවීමේ කාලය තීරණය වී ඇති බවක් පෙනෙන්නට තිබේ. මන්ද මැයි දෙවෙනිදා සිකුරාදා පස්වරුව වන විටත් වැව රවුමේ ඇතැම් අට්ටාල ගලවා නොතිබිණි. දළදා මාලිගය විසින් තිස් දහසක ජනතාවට බඩට අහරක් ලබා දුන් දන්සලේ අට්ටාලය ද ගලවා නොතිබිණි. ඒ ඒ අට්ටාල සඳහා දිනකට වැය කරන පිරිවැය තම තමන්ට දරා ගත හැකි මට්ටමේ ඇති නිසා විය යුතුය.
කසළ ටොන් හය සීයට මොකද වෙන්නේ?
දින දහයක කාලයක් තුළ මහනුවර නගරයේ දළදා දැක්ම ප්‍රවිෂ්ට මාර්ග හා ඒ ඒ ආසන්නයේ දමා ගිය පොලිතීන්, වතුර බෝතල්, ඉටිරෙදි (යෝගට් කප්, කෑම පාර්සල්, මාළු බනිස්, බිස්කට් ඇතුළු විවිධ ආහාර වර්ග) ඉවතලූ ආහාර ඇතුළු දිරන නොදිරන කසළ ප්‍රමාණය ටොන් 600 කි. සියල්ල එක්කාසු කොට මේ වනවිට ගොහාගොඩ කසළ අංගනය වෙත ගෙන ගොස් තබා තිබේ. මේවා මිශ්‍ර කැළිකසළ බැවින් වෙන් කිරීම අතිශය භාරදූර කාර්යයක් බවට පත්ව ඇත.
“මේ කසළ ප්‍රමාණය වෙන් කිරීම පහසු කාර්යයක් නෙවෙයි. දවසකට මිනිස්සු තිහ ගාණේ දැම්මත් මාස හයක්වත් යයි මේවා වෙන් කරන්න. නමුත් මගේ අදහස මිනිස්සු වැඩිපුර දාලා හරි කසළ ටික ගොහාගොඩ ම වෙන් කරන එක තමයි. මොකද නැත්තං වෙනත් විකල්ප සඳහා යොමු වීමට විශාල මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. මම දකින්නේ ඒක අපරාධයක්.
එක අවස්ථාවකදී සාකච්ඡාවක් ආවා කොළඹට යවන්න. ඒත් ප්‍රායෝගිකව විවිධ ගැටලු මතු වෙනවා වගේ දැනෙනවා. කොළඹට යැවීමේදී උනත් කන්ටේනර් එකක් සහිත ලොරියක් වරකට රුපියල් 60 දහසකට වඩා මුදලක් ගනීවි. තවත් යෝජනා වුණා කෝච්චියක යවන්න. නමුත් කෝච්චියට පැටවීම සහ කැලණියෙන් බෑවහම එතැන සිට නැවත පිටතට ගැනීමට ගෙනියන්න තියෙන ප්‍රායෝගික ගැටලු මත මම හිතන්නේ ඒකත් අර්බුදකාරීයි. ටොන් හයසියෙන් වැඩි ප්‍රමාණයක්ම තියෙන්නේ නොදිරන කුණු නිසා වෙන් කරන්න කාලයක් ගත වුණා කියලා ගැටලුවක් වෙන්නෙ නෑ. දැනට ගැටලුවකට තියෙන්නේ ගොහාගොඩ කසළ අංගනයේ පවතින නෛතිකමය තත්ත්වය. මොකද එතන ජනතාව වැඩිපුර ජීවත් වන ප්‍රදේශයක් නිසාම ඇතිවන ප්‍රශ්න වැඩියි…” මහනුවර නගර සභාවේ ඉංජිනේරු නාමල් දිසානායක මහතා කියා සිටියේය.
මහනුවර ජනතාවගේ සෞඛ්‍ය ගැටලු
දින දහයක් තුළ පැමිණි ජනතාව නිසා හෝ එකතු කුණු කසළ නිසා හෝ අට්ටාල නොගැලවීම මත හෝ මහනුවර ජනතාවට කිසිදු සෞඛ්‍යමය තර්ජනයක් එල්ල නොවන බව මහනුවර ප්‍රධාන නාගරික වෛද්‍ය නිලධාරී ජයසිංහ මහතා කියා සිටියේය.
මහනුවර ජනතාවගේ පානීය ජලය සඳහා කිසිදු අයුරකින් විෂබීජ එකතු වීමක් සිදු නොවන බවත් ඒ සම්බන්ධයෙන් ජාතික ජලාපවහන මණ්ඩලය දැඩි අවධානයක් යොමු කරමින් පර්යේෂණ සිදු කරන බවත් ඔහු දිගින් දිගටම කියා සිටියේය.
දින දහය තුළ එක් රැස්වූ කැළිකසළ අපද්‍රව්‍ය පොදු ජල වාහක වෙත රැස්වීම සිදු වූයේ ඉතා අවම අයුරකිනි. මන්ද දිනපතා වරින් වර කැළිකසළ අපද්‍රව්‍ය රැස්කොට ගොහාගොඩට ගෙන යෑම සිදු වූ නිසාය.
අට්ටාල නොගැලවීම මත හෝ එහි ඇති පොලිතීන් මත ජලය රැස්වීම මත ඩෙංගු කීටයන් වර්ධනය වේ යැයි හාහූවක් මහනුවර නගරය පුරා පැතිර ගිය ද එහි සත්‍යයක් පෙනෙන්නට නැත. මදුරුවාට සිය ජීවන චක්‍රයේ ක්‍රියාදාමයන් මත බිත්තර පොලිතීන් මත අලවා ගැනීමේ ශක්තියක් නොපෙනෙන්නේ වැවරවුමේ ඇති සුළං හේතුවෙන් නිතර පොලිතින් එහෙ මෙහේ වැනෙන නිසාය. මේ තත්ත්වයන් මත මහජනතාව බිය විය යුතු නැත.
වෙනදාට වඩා මහනුවර නගරයේ රථවාහන සැලැස්ම ක්ලීන් විය. වෙනදා කුඩා දේශපාලන රැස්වීමක් මහනුවර තිබුණ ද වාහනයකට නගරයේ පසුකර යෑමට පැයක් හෝ දෙකක් ගත වනු අප දැක. මෙවර එවැන්නක් සිදු නොවූයේ දළදා දැක්ම සඳහා පැමිණෙන අයට පැමිණීම වළක්වමින් මහනුවරට යාබද ප්‍රදේශවල ගාල්කොට පහසුකම් සලසා තිබූ බැවින් බව නොකියා බැරිය. මන්ද එය එසේ නොවිණි නම් මහනුවර නගරයේ තදබදය ගැන වෙනම කතා ලියන්නට ඉඩ තිබිණි.
මහනුවර නගර වැසියන්ගේ සිත් ක්ලීන් විය යුතුය
දැන් දළදා දැක්ම අවසානය. දළදා දැක්මට අදාළ රාජකාරී ඒ ඒ නිලධාරීන්ට පැවරිණි. දැන් ඒවා බහුතරයක් අවසන් වී තිබේ. නමුත් ඒ ඒ වැඩ රාජකාරී මත ම ඒ ඒ පුද්ගලයන්ගේ සිත් කනින් කොනින් දූෂ්‍ය වීම සිදුව ඇත. ඊට ප්‍රධානතම හේතුව නිලධාරීවාදය තම තමන්ගේ අනාගත බලාපොරොත්තු අපේක්ෂා ය. එසේත් නොමැති නම් තවත් පුටුවකට නැග ගැනීමට ඇති ආසාවය.
මේ ඓතිහාසික පුණ්‍ය ක්‍රියාව විවිධ අරමුණු ඔස්සේ ගමන් කරවීමට බොහෝ දෙනා උත්සාහ ගත්හ. ඇතැම්හු තම තමන්ගේ අනාගත යහපැවැත්ම උදෙසා සෘජුවම පාවිච්චි කළහ. තවත් සමහරුන් එකිනෙකා ඇනකොටාගන්නට අවැසි පසුබිම සකසන්නට භාවිත කළහ. පොදු මහත් ජනතාව එකක් දැනගත යුතුය. දැන් මහනුවර නගරය පිරිසිදුය. සිත් ඇතැමුන්ගේ අපිරිසිදුය. අපිරිසිදු සිත් පිරිසිදු කරවීම පිණිස පුණ්‍යක්‍රියාවන් දේශපාලනිකරණය කිරීම හෝ නිලධාරීවාදී දැක්මකට හෝ වෙනත් පාර්ශ්වයකගේ නැගී සිටීමට භාවිතා නොකර ගැනීමට ජනතාව අවබෝධ කරගත යුතුය එසේ නොවුණහොත් බුදුන් වහන්සේ දෑසින් දැක සැනසුන පින් මහිම අනුමෝදන් නොවනු ඇත.
සමන්ති වීරසේකර