(මෙම 29 දාට යෙදෙන 110 වැනි ජන්ම දින සමරුව වෙනුවෙනි.)
එවකට එතුමා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය හෙබවීය. මහජන දිනයේදී කඩුවෙල මැතිවරණ බල ප්‍රදේශයේ ජනතාව නොයෙක් හේතූන් මත එතුමා හමුවීමට පැමිණෙති. එතුමාගේ පාදුක්කේ පිහිටි නිවසේ සෑම ඉරු දිනයකදීම එතුමා හමුවීමට අවකාශ ඇතත් ජනතාව අමාත්‍යාංශයට ගොස් ද තමන්ගේ දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමට පුරුද්දක් කරගෙන සිටියහ.
එක් දිනක ආසනයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු එතුමා හමුවීමට පැමිණ තම අවශ්‍යතාවය කියා පෑවේය. ඔහුගේ ඉල්ලීම ඉටුකිරීම අමාත්‍යවරයෙක් වුවද ඉතා ඉක්මනින් සිදු කිරීම අපහසු කරුණක් වූ නිසා අමාත්‍යවරයා ඔහුට ඒ පිළිබඳව පැහැදිලි කර දුන්නේය. එහෙත් පාක්ෂිකයා එය නොපිළිගෙන අමාත්‍යතුමා සමග තර්ක කළේය. මින් කෝපයට පත් අමාත්‍යවරයා ඔහුට උස් හඬින් කතා කළේය. අවසානයේදී අමාත්‍යවරයා සමග අමනාපයෙන් එම පාක්ෂිකයා අමාත්‍යාංශයෙන් පිටවිය. ඔහු එතැනින් ඉවත්වූයේ අවට සිටි පිරිසට ද අමාත්‍යවරයා පිළිබඳව අප්‍රසාදයෙන් කතා කරමිනි. මෙම ප්‍රබල ක්‍රියාකාරී පාක්ෂිකයා අමාත්‍යවරයාගේ මැතිවරණ කටයුතුවලදී මහත් කැපවීමක් කරන අයෙකි. එය ඇමැතිතුමා නොදැන සිටියා නොවේ. එහෙත් කිසිදු කලෙක කිසිම ලෙසකින්වත් තම පාක්ෂිකයන් නොරවටන ඇමතිතුමා ක්‍රියා කළේ සත්‍ය තත්ත්වය පැහැදිලි කිරදෙමිනි. එම පාක්ෂිකයා ද තමන්ගේම මතයේ සිටිමින් ක්‍රියා කරන්නෙකු වූ නිසා දෙදෙනා අතර බහින්බස් වීම සිදුවිණි.
තම නිවසට පැමිණි පාක්ෂිකයා කලකිරීමෙන් ද ඇමතිවරයා කෙරෙහි හටගත් කෝපයෙන්ද යුක්තව සිටිද්දී හවස් යාමයේ නිවස ඉදිරිපිට නැවතුණේ ඇමතිවරයාගේ නිල රථයයි. ඇමතිවරයා එහි පසුපස අසුනේ විය. ආරක්ෂකයන් හෝ ආරක්ෂක රථ නොවීය.
අමාත්‍යවරයා වාහනයේ සිටිමින්ම උදෑසන තමන් සමග වාදයක පැටලී අමාත්‍යාංශයෙන් නික්ම ගිය තම හිතවත් පාක්ෂිකයාට නම කියා ආමන්ත්‍රණය කළේය. “… කමිසයක් දාගෙන මා එක්ක ගමනක් යන්න එනවා” යි ඔහුට වැඩිදුරටත් කියා සිටියේය. පාක්ෂිකයාගේ සිතෙහි තිබුණු අමනාපය, කලකිරීම සැණෙකින් දුරු විය. ඔහු ඇමතිතුමා සමග වාහනයට නැඟ කොළඹ දෙසට ගියේය. එදින රාත්‍රියේ ඇමතිතුමා සමග රාත්‍රී භෝජන සංග්‍රහය භුක්තිවිඳි ඔහු ඇමැතිතුමාගේ නිල රථයෙන්ම නැවත නිවසට පැමිණුනේ අමාත්‍යවරයාට උදේ සිදුවූ සිද්ධියට කනගාටුව ද පළ කරමිනි. අද මෙවැනි සිද්ධියක් වූවේ නම් හවසට සිදුවන්නේ අමාත්‍යවරයා සමග වාද කළ පාක්ෂිකයාට එක්කෝ ජීවිත අනතුරකි. නැත්නම් නිවසට තදබල හානියකි.
එදා දේශපාලනයේ හැටි එහෙමය. මේ ඇමතිවරයා ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ කීර්තිමත් නාමයක් හිමිකරගත් එම්.ඩී.එච්. ජයවර්ධන මැතිතුමාය. එතුමාට ආසනයේ පාක්ෂිකයන් හමුවීමට මහජන දින 2ක් තිබිණි. එකක් අමාත්‍යාංශයේදීය. අනෙක් දිනය තමන් පදිංචිව සිටි පාදුක්කේ පැරණි වලව්වේය. නිවසට කොතරම් පිරිසක් පැමිණුන ද ඔවුන් සඳහා උදෑසන ආහාරය සූදානම්ව තිබුණි. දිවා ආහාරය, තේ පැන් සංග්‍රහය සූදානම්ව තිබිණි. එතුමා තම පාක්ෂිකයන් සමග එක්ව කෑම මේසයේ ආහාර ගත්තේය. එතුමා හමුවුණු පාක්ෂිකයන් ආපසු පැමිණුනේ ඉතා සතුටෙන්ය.
එම්.ඩී.එච්. යන කෙටි නාමයෙන් ජනතාව ඔහුව හැඳින්විය. වර්තමානයේ ද කඩුවෙල, කොට්ටාව, හොරණ ජනතාවට එම්.ඩී.එච්. අමරණීය මිනිසෙකි. එතුමාගේ විශිෂ්ට සේවාවන් අතර කඩුවෙල – බියගම යා කළ රාජසිංහ පාලම, නවගමුව, උතුරු තලංගම, අතුරුගිරිය රෝහල, කඩුවෙල දැඩිගමුව රජයේ බෙහෙත් ශාලා, පත්තිනිමාතාගම, ශාන්තාලෝකගම, උදාගම්, ජයවඩනගම ඇතුළු නිවාස සංකීර්ණ, තලාහේන
ආදාහනාගාරය, විදුලි යෝජනා ක්‍රම, පාසල් දියුණු කිරීම, මංමාවත් සංවර්ධනය, වෙහෙර විහාරස්ථානවලට උපකාර, දහස් ගණනින් රැකියා, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නව තැපැල් කාර්යාල, කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු වාට්ටුව කැපී පෙනේ.
එතුමාට ධන කුවේරයෙකු ලෙස ජීවත්වීමට හැකියාව තිබුණ ද ජනතාවට උදව් කිරීම සඳහා දේශපාලනයට පිවිසිනි. තමන්ගේ පෞද්ගලික ධනය දේපළ ඔහු ජනතාව වෙනුවෙන් කැප කළේය.
යකාටවත් බය නැති එම්.ඩී.එච්.
ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ රජයේ පළමු අයවැය ලේඛනය විවේචනය කරමින් තම ප්‍රබල කැබිනට් අමාත්‍ය පදවිය අහිමිකර ගත්තේය. තනතුර වෙනුවෙන් ඔහු කිසිදු දිනක බැගෑපත් නොවීය. ප්‍රතිපත්ති පාවා නොදුන්නේය. එකල එතුමා කඩුවෙල ආසනයේ
නොගිය නිවසක් නොවීය. මිනිසුන්ගේ දුකේදී සැපේදී මිනිසුන් හමුවට පැමිණියේය. කිසිදු දිනක ආරක්ෂකයන් ඔහුවටා නොවීය. මනා පෞරුෂයකින් හෙබි එතුමා කැබිනට් මණ්ඩලයේ එදා උසම අමාත්‍යවරයා විය.
මෙවැනි දේශපාලනඥයන් මුළු රටටම ආදර්ශයකි. වර්තමාන දේශපාලනඥයන්ට පරමාදර්ශී චරිතයක් වූ එතුමා 1986.09.29 දින දැයෙන් සමුගත්තේය.
● චන්ද්‍රසේන පලිහේන
හිටපු නාගරික මන්ත්‍රී, කඩුවෙල මහනගර සභාව