ඉන්දියානු හමුදාව ලංකාවට ගේන්න ජේ.ආර්. රජීව්ට කිව් රහස මනිශංකර් අයියර් හෙළිකරයි

132

ඉන්දීය සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවට එවීම හිටපු අගමැති රජිව් ගාන්ධිගේ නරකම තීරණය බව ඉන්දීය රජයේ හිටපු ඇමැති මනිශංකර් අයියර් විසින් රචනා කළ The Rajiv I Knew ග්‍රන්ථයේ සඳහන් කර ඇත. ශ්‍රී ලංකාවට සාම සාධක හමුදාවක් යැවීමට ඉන්දියාව එකඟ වූ ආකාරය ගැන මනිශංකර් අයියර් මේ කෘතිය හරහා නව තොරතුරු රැසක් හෙළි කරයි.

“රජීව් – ජයවර්ධන ගිවිසුම අත්සන් කළාට පස්සේ ශ්‍රී ලංකා ජනාධිපති ජයවර්ධන රජීව්ව එක්කගෙන ගියේ ළඟ තිබුණු කාමරයකට. ජයවර්ධන රජීව්ට කිව්වා රට දෙපැත්තේ ඇවිලෙන සිවිල් කැරලි දෙකට මුහුණ දෙන්න ශ්‍රී ලංකා හමුදාවට බැහැ කියලා. කොළඹ අගනුවර ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට හමුදාවට අපහසු වෙලා තියෙන නිසා උතුරට සාම සාධක හමුදාවක් එවන්න කියලා කිව්වා.

ඇත්තෙන්ම රජීව් ගාන්ධි යෝජනාව අනුමත කර ඇත්තේ ඒ මොහොතේ කාමරයෙන් පිටත රැඳී සිටි තම විශේෂඥයන්ගෙන් පවා විමසීමකින් තොරවයි” ලංකාවට ඉන්දීය හමුදාව යැවීමේ රජිව් ගාන්ධිගේ තීරණය අසා ඉන්දියාවේ විශේෂඥයන් විමතියට පත් වූ බවද එම පොතේ සඳහන් වේ.

“ගිවිසුම අත්සන් කළාට පස්සේ මේ තරම් කඩිමුඩියේ ගිවිසුමට මේ වගේ වගන්ති ඇතුළත් වෙයි කියලා ඔවුන් බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් රජීව් ගාන්ධි ඒ තීරණය අරගෙන වහාම ක්‍රියාත්මක කළා” යැයි මනිශංකර් අයියර් සටහන් කර ඇත.

“ඉන්දීය අගමැතිතුමාට නාවික හමුදාවෙන් සම්ප්‍රදායික ගෞරව සම්මාන මුරයක් පිරිනමද්දී නාවික හමුදා භටයෙක් රජීව් ගාන්ධිට තුවක්කුවේ පිටුපසින් පහර දුන්නා. එම ප්‍රහාරයෙන් රජීව් ගාන්ධිගේ හිස කුඩුවෙලා එතැනම මැරෙන්න තිබුණා. ප්‍රහාරය එන බව අගමැතිතුමාට වැටහුණා, පහර උරහිසට වැදුණා” යනුවෙන්ද පොතේ සඳහන් වේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment