ඉන්දියාවේදී ඇල්ලූ ශ්‍රී ලාංකික 4 දෙනා සමග සබඳතා පැවැත් වූ ජෙරාඩ් රඳවාගෙන ප්‍රශ්න කරයි

51

ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින ත්‍රස්තවාදීන් බවට සැකකරන ශ්‍රී ලාංකිකයන් සිවුදෙනා සමග සමීප සබඳතා පැවැත් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් භාරයට ගත් ජෙරාඩ් පුෂ්පරාජ් නමැත්තා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ත්‍රස්තවාදී විමර්ශන ඒකකය අධිකරණයෙන් අවසර ලබාගෙන ඇත.

ජෙරාඩ් පුෂ්පරාජ් නමැති මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබාදෙන පුද්ගලයකුට රුපියල් ලක්ෂ 20ක ත්‍යාගයක් ලබාදෙන බවට පොලිස් මූලස්ථානය මීට පෙර නිවේදනය කර තිබුණි. ත්‍රස්ත විමර්ශන ඒකකය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කළ මෙහෙයුමකින් සැකකරු කොළඹදී අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

සැකකරු ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන අතර ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් සිවුදෙනා පිළිබඳව මෙහිදී වැදගත් තොරතුරු හෙළි වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන්දීය පොලිස් අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකිකයන් සවුදෙනා සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයන් 06 දෙනකු ශ්‍රී ලංකා පොලිසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් සියලු දෙනාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමටද ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයෙන් අවසර ලබාගෙන ඇත. කිසියම් ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි බව කියමින් ඉන්දීය පොලිසිය මගින් එම ශ්‍රී ලාංකිකයන් සිවුදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් මැයි 20 වැනිදාය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment