10 වැනි ජම්බෝරියට දෙස් විදෙස් බාලදක්‍ෂයෝ 20,000ක්

302

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු

ජම්බෝරි සම සංවිධායක සරත් මාතරආරච්චි මහතා විසින් ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා වෙත ජම්බරි කරලේන්සුව නිල වශයෙන් පළඳවන ලද අයුරු හා ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකාර ප්‍රියාල් සිල්වා මහතා විසින් ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා වෙත නිල බැංකු සහකරු ලෙස ලංකා බැංකුවේ දායකත්වය පිරිනමන අයුරු.

බාලදක්ෂ බාලක, බාලිකාවන් හා නායකයන් 20,000කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය මේ මස 20 වැනිදා සිට 26 වැනිදා දක්වා ත්‍රිකුණාමලයේ දී පවත්වන බව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පැවැසීය.

‘වෙනසක් සඳහා නායකත්වය’ යන්න තේමා කරගනිමින් පැවැත්වෙන ජම්බෝරියේ සමාරම්භක උළෙල ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 21 වැනිදා ආරම්භ කරන බව ද හෙතෙම කීවේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවේ දී ප්‍රධාන කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය.

ජාතික ජම්බෝරිය සඳහා රටවල් රැසක් නියෝජනය කරමින් බාලදක්ෂ බාලක, බාලිකාවන් සහ නායකයන් 500 දෙනකු පමණ එක් වන බවත් ජම්බෝරි ඉතිහාසයේ ප්‍රථම වතාවට බාලදක්ෂිකාවන් ද කඳවුරුගත වන බවත් ඒ මහතා කියා සිටියේය.

බාලදක්ෂ දිස්ත්‍රික් 37 නියෝජනය කරමින් බාලදක්ෂයන් 12000කට ආසන්න පිරිසක් දින 07 පුරා කඳවුරුගත වන බවත් පෝතක බාලදක්ෂයන් 8000කට ආසන්න පිරිසක් දින තුනක් පුරා කඳවුර සමග එක්වන බවත් ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා කීවේය.

කඳවුරට සහභාගි වන බාලදක්ෂ බාලක, බාලිකාවන් යළි කඳවුරෙන් පිටව යන විට වෙනස් වූ පුද්ගලයකු බවට පත් කිරීම ජම්බෝරිය තුළින් උත්සාහ කරන බව පැවැසූ ඒ මහතා 21 වැනිදා සවස 2.00න් පසුව හා පසු දින සිට සෑම දිනකම පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා ජනතාව වෙනුවෙන් කඳවුර විවෘතව තබන බව ද හෙතෙම පැවැසීය.

උප කඳවුරු මගින් මෙම ජම්බෝරිය ක්‍රියාත්මක වන අතර බාදක්ෂයන් වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම්, ගිනි මැල සංදර්ශන, සංස්කෘතික සංදර්ශන ඇතුළු විවිධ ක්‍රියාකාරකම් රැසක් මෙම දිනයන් පුරා ක්‍රියාත්මක වන බව ඒ මහතා කීවේය.

ජම්බෝරිය සාර්ථක කර ගැනීම සඳහා අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රමුඛ නිලධාරීන්, නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සහ සියලු රාජ්‍ය ආයතන සහය ලැබෙන බවත් මෙරට ප්‍රමුඛ පෙළේ රාජ්‍ය බැංකුවකින් හා පුද්ගලික ආයතන රැසකින් දායකත්වය ලැබෙන බවත් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා කියා සිටියේය.

ලෝකයේ වැඩිම දරුවන් පිරිසක් එක්ව සිටින ව්‍යාපාරය බාලදක්ෂ ව්‍යාපාරය බව පැවැසූ ඒ මහතා රටවල් 174ක, දරුවන් ලක්ෂ 570ක් පමණ බාලදක්ෂ ව්‍යාපාරය හා එක්ව සිටින බව කීවේය.

ලෝක බාලදක්ෂ ව්‍යාපාරය විසින් පිළිගත් ලංකාවේ ඇති එකම බාලදක්ෂ සංගමය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය බවද ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පැවැසීය.

මේ අවස්ථාවට නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එම් මුහීඩ්, කඳවුරු සංවිධායක කොමසාරිස්වරුන් ලෙස වැඩසටහන් කොමසාරිස් සරත් මාතරආරච්චි, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස්, කර්නල් පද්මලාල් පෙරේරා යන මහත්වරු ද එක්ව සිටියහ.
අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment