2015 – 2019 කාලයේ වත්මන් ජනපති ගත් දැවැන්ත ණය බෝම්බය ගෝඨාභය අතේ පත්තු වුණා

195

ආර්ථික අර්බුදයට විසඳුම තවදුරටත් ණය ගැනීම නොවෙයි – නීතිඥ උදය ගම්මන්පිල (පිවිතුරු හෙළ උරුමය)

ඉදිරි වසර තුන තුළදී ඩොලර් බිලියන 7.4 ණය ලබා ගැනීම ආණ්ඩුවේ සූදානමක් ඇති බවත් මෙම ණය ගැනීම හේතුවෙන් තවත් වසර පහකින් පමණ මීටත් වඩා දැවැන්ත ආර්ථික අර්බුදයක මේ රට යළි සිර වනු ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. ඒ මහතා ඒ බව සඳහන් කර සිටියේ 08වන දා පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අයිඑම්එෆ් ණය මේ මාසයේ ලැබෙන බවට ආඩම්බරයෙන් ප්‍රකාශ කළා. එතුමාගේ කතාවට හොඳින් සවන් දුන්නු අයෙකුට තේරෙන්නේ ආණ්ඩුව වැරදි පාරේ යන බවයි. ආණ්ඩුව යන පාර වැරදියි කියලා සිතන අයට විකල්පය මොකක්දැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා සිටියා. අපි දැන් සෑහෙන කාලෙක සිට විකල්පය කියනවා. එතුමන්ට ඇහෙන් නැති එකයි ප්‍රශ්නය. අපි සූදානම් එතුමා යන ගමන වැරදි වන්නේ ඇයි කියන එකත් ඊට පසු හරි පාර මොකක්ද කියන එකත් කියා දෙන්න.

ආණ්ඩුවේ උපාය මොකක්ද? මුලින්ම ණය ආපසු ගෙවීමේ සහන කාලයක් ණය හිමියන්ගෙන් ලබා ගන්නවා. ඊට පස්සේ ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කරනවා. ඊළඟට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9ක් ලබා ගෙන සංචිත වැඩි කර ගන්නවා. දැන් ඔන්න අපි බංකොලොත් භාවයෙන් මිදිලා. ඊළඟට? මේ බංකොලොත් භාවයෙන් මිදීම ප්‍රයෝජනයට අරගෙන වැඩි වුණු සංචිත පෙන්වමින් ණය පිට ණය අරන් නැවතත් රට ණය උගුලක සිරකිරීමයි.

ඉදිරි වසර තුනට ලබා ගන්න දැනට සැලසුම් කරලා තිබෙන ණය බැලුවොත් මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9යි. ලෝක බැංකුවෙන් ඩොලර් බි. 1.5යි. ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියනයයි. බැඳුම්කර නිකුතුවෙන් ඩොලර් බිලියන 2යි. ඔක්කොම ඩොලර් බිලියන 7.4යි. මේ හැම සතයක්ම පොලිය සමග ආපසු ගෙවන්න ඕනෑ. ඒ අතරේ 2025 සිට දැනට නතර කරලා තිබෙන ණය ආපසු ගෙවීම පටන් ගන්න ඕන. ඒ කියන්නේ තවත් වසර පහකින් මීට වඩා දැවැන්ත ආර්ථික අර්බුදයක මේ රට යළි සිර වෙනවා කියන එකයි. අපි මේ හදන්නනේ අපි සිරවුණු අර්බුදයට වඩා ලොකු අර්බුදයක ඊළඟ පරම්පරාව හිර කරලා අපි තාවකාලිකව ගොඩ යන්නයි.

තව වසර පහකින් මම බලයේ නෑනෙ කියා ජනාධිපතිතුමා නම් හිතනවා ඇති. 2015-2019 යුගයේ වත්මන් ජනාධිපතිතුමා අගමැති ධුරයේ සිට ලබාගත් දැවැන්ත ණය තොගයෙන් හදපු බෝම්බය තමයි ගෝඨාභය ජනාධිපතිතුමා අතේ පත්තු වුණේ. මේ හදන්නේ ඊළඟ ජනාධිපතිටත් ඒ වගේම බෝම්බයක් හදලා තියලා දේශපාලනයෙන් සමු ගන්නයි.

අපි ආර්ථික අර්බුදයක සිර වුණේ ණය ගැනීම නිසා නම් විසඳුම තවදුරටත් ණය ගැනීම වෙන්නේ කොහොමද? හේතුව සහ විසඳුම දෙකම එකක් වෙන්න බැහැ. ඒක හරියට සීනි වැඩිපුර කාලා දියවැඩියාව හැදුනු කෙනෙකුට බෙහෙත් විධියටත් සීනිම දුන්නා වගේ වැඩක්නෙ.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment