ඉන්දීය ධීවරයෝ 10 දෙනා අත්අඩංගුවට

1

ඩෙල්ෆ් මුහුදු තීරයේ මෙහෙයුමකදී නාවික හමුදා භටයකු මියයෑම

ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීම පිණිස මෙහෙයුමක් දියත් කරමින් සිටියදී ඉන්දීය ධීවරයන්ගේ ප්‍රහාරයකට ලක්ව නාවික හමුදා භටයකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ඉන්දීය ධීවරයන් දස දෙනා ජූලි මස 8 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මල්ලාකම් මහෙස්ත්‍රාත් ඇන්ටන් ජූඩ්සන් මහතා නියෝග කළේය.

කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් ඩෙල්ෆ් මුහුදු තීරයට අනවසරයෙන් පැමිණ මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යෑමේදී ධීවරයන්ගේ යාත්‍රාවක් නාවික හමුදා යාත්‍රාවක බලහත්කාරයෙන් හැප්පවීම නිසා තුවාල ලැබූ නාවික හමුදා භටයා මියගොස් තිබුණි.

මේ අවස්ථාවේදී නාවික හමුදාව විසින් බෝට්ටුවක් සමග ඉන්දීය ධීවරයන් දස දෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කන්කසන්තුරේ පොලිසිය වෙත භාර දෙන ලදී.

පොලිසිය එම ධීවරයන්ව යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් විශේෂඥ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කොට එම වෛද්‍ය වාර්තාවන්ද සමග සැකකරුවන්ව මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.

එම ධීවරයන්ට එරෙහිව චෝදනා හතක් ගොණු කොට තිබූ අතර නීති විරෝධී ලෙස උතුරු මුහුදු සීමාවට ඇතුළු වීම, නාවික හමුදා අණ නොතැකීම, කලහකාරී ලෙස හැසිරීම, අනතුරුදායක ලෙස බෝට්ටුවක් පැදවීම සහ අනතුරක් සිදු කොට එක් අයකු මරණයට පත් කිරීම යන චෝදනා ද ඒ අතර විය.

චෝදනා සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම ඉන්දීය ධීවරයන් දස දෙනා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළේය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment