ඉපේ සහ ලෝරී

28

වන ජීවී සංරක්ෂණය සහ කළමනාකරණය කියන විෂය සමකාලීනව මතුවන ගැටලු සහ අභියෝග හමු වූ විවිධ පරාසයන්වල චලනය වෙමින් සංවර්ධනය වන න්‍යායාත්මක හා ව්‍යවහාරික’ විශේෂේත්‍රයක්. දැන් මේ ගැන කතා කරන විට භූ දර්ශීය පරිමාණයේ සැලසුම් (Landscape level planning ) ගැන වැඩි අවධානයක් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම විවිධ මානව ක්‍රියාකාරකම් නිසා ආරක්ෂිත ප්‍රදේශ, සත්ත්ව වාසභූමි ඛණ්ඩනය වෙලා තියෙන පසුබිමක. වන ජීවී මංකඩවල (wildlife corridor) ඵලදායිතාවය ගැන පර්යේෂකයන් වැඩි අවධානයක් යොමු කර තිබෙන්නේ මෙවන් පසුබිමකයි. ආරක්ෂිත ප්‍රදේශ යාකරමින් වන ජීවී මංකඩවල් ඇති කිරීමෙන් වන ජීවීන්ට ආරක්ෂිතව පුළුල් පරාසයක සැරීමටත් ගහන අතර ශක්තිමත් බැඳීමක් ඇති කර ගැනීමටත් හැකියාව ලැබෙනවා. තවත් ප්‍රධාන සාධක දෙකක් නිසා මේවාට තිබෙන අවධානය වැඩිවෙලා.

දේශගුණික විපර්යාසවල බලපෑම ඉන් පළමුවැන්න. සෘජු හා වක්‍ර බලපෑම නිසා ඇතැම් විශේෂ තිරස් ආකාරයටත් තවත් විශේෂ පහත් බිම්වල සිට ඉහළ උන්නතාංශයන් දක්වා කඳුකර ප්‍රදේශවලටත් සංක්‍රමණය වන බව පර්යේෂකයන් විසින් හඳුනාගෙන තිබෙනවා. 2014 වසරේ දී චීනයේ පර්යේෂණ කණ්ඩායමකට අනාවරණය වුණා. පූර්වයෙහි හිම කොටින් (Snow leopards) ජීවත් වූ කඳුකර ප්‍රදේශවලට දැන් පොදු දිවියන් (Common leopards) ද පිවිස තිබෙන බව. මේ නිසා ආහාර, වාසභූමි සඳහා තරගයක් ඇතිවීම වැළැක්විය නොහැකියි. සමහර විට කෙනෙක් ජයග්‍රහණය කොට අනෙකා පරාජිතයෙක් ද යෙදවිය හැකියි. පරාජිතයන්ට උරුම වන්නේ මහිතලයෙන් වඳවීයෑමේ ඉරණම විය හැකියි. අප්‍රිකානු සැවානා බිම්වල කරන ලද අධ්‍යයනවලින් විල්ඩබීස් (Wildebeest), අප්‍රිකානු සැවානා අලින් වැනි සත්ත්ව විශේෂවල ද තිරස් අවකාශයේ ව්‍යාප්ති රටාවල වෙනස්කම් හඳුනාගෙන තිබෙනවා. අපේ වගේ රටවල පර්යේෂණ කරලා නැති වුණත් මෙවැනි තත්ත්වයක් දැනටමත් අප සමීපයේ තිබෙනවා විය හැකියි.

දෙවැනි කාරණය මේ නේවාසික ඛණ්ඩවීම නිසාවෙන් විශේෂ වඳ වී යෑමේ තර්ජනය. නේවාසික ඛණ්ඩනය වීම නිසා ඇතැම් කුඩා ගහනයන් දීර්ඝ කාලීනව ඇතැම් කුඩා භූගෝලීය ප්‍රදේශවල හුදකලා වෙනවා. මේ නිසා ඇතැම් වනාන්තර කොටස්වල ශේෂවෙලා ඉන්න සත්ව ගහන ක්‍රමයෙන් දුර්වලවෙලා නෂ්ටවෙලා යෑමේ දැඩි අවදානමක් සංරක්ෂණවේදීන් හඳුනාගෙන තිබෙනවා. උදාහරණයක් විදිහට ඉන්දු – මලයා වනාන්තර කලාපයේ ජීවත් වන සුමාත්‍රා අලින් (Sumatran elephant) රයිනෝසිරස් (Sumatran Rhino), ව්‍යාඝ්‍රයින්(sunda tigers) සහ ඔරංඋටං (Sumatran orangutan) වගේ සත්ව විශේෂ දැඩිව වඳ වී යෑමේ තර්ජනයට (Critically Endangered) ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ වනාන්තර කිහිපයකට හුදකලා වෙලා ඉන්න කුඩා අලි රංචුත් මේ වගේ. මේ සතුන්ට විසිරී ඉන්න ඔවුන්ගේ වෙනත් ගහනයක් සමග මුසුවෙන්න අවස්ථාවක් නැහැ.

අපේ, ඒ කියන්නේ මිනිස්සුන්ගේ පැත්තෙන් තවත් බොහෝ කාරණා තිබුණත් වනජීවී සංරක්ෂණය පැත්තෙන් මේ කරුණු දෙක ගැන වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා භූ දර්ශීය පරිමාණයේ වන ජීවී සැලසුම් වලදී. ඒ නිසා තමයි ආරක්ෂිත ප්‍රදේශ එකිනෙක හා යා කළ පද්ධතියක් ලෙස නිර්මාණය කරන්න අවධානය යොමු කරන්නේ. මේවා වනජීවී හෝ වනාන්තර මංකඩ (Forest or wildlife corridors) සහ ජෛව විද්‍යාත්මක හෝ පරිසර විද්‍යාත්මක මංකඩවල් (Biological or Ecological Corridors) ලෙස ද හැඳින්විය හැකියි. මෙහිදී සිදුවන්නේ වන ජීවීන්ට ආරක්ෂිත ප්‍රදේශ අතර ආරක්ෂිතව සංක්‍රමණය විය හැකි ප්‍රවේශ තහවුරු කිරීම. විශේෂයෙන්ම අවකාශීය වශයෙන් පුළුල් සැරීම් පරාසයක් තිබෙන කොටින්, ව්‍යාඝ්‍රයන්, අලින් වැනි සතුන් කළමනාකරණයේ දී මේ ප්‍රවේශයේ ලොකු වැදගත්කමක් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, ජෛව විවිධත්වයෙන් වැඩි සංවේදී වැසි වනාන්තර මේ ආකාරයෙන් යා කිරීම අපගේ වැඩි අවදානයක් යොමු නොවන කුඩා සත්ත්ව කාණ්ඩවල අඛණ්ඩ පැවැත්මට හේතු වන බව ඇතැම් පර්යේෂණ වලින් අනාවරණය කරගෙන තිබෙනවා. ඒ වගේම වන ජීවී – මිනිස් ගැටුම් කළමනාකරණයට වගේම පරිසර සහ වනජීවී සංචරණය (Eco-tourism and wildlife tourism) වගේ පරිසර හිතකාමී ආර්ථික යෙදීම් උත්තේජනය කරන්නන් මේ වගේ යෙදීම් උපකාර වෙනවා.

ගව පාලනය නිසා ඇට්ලන්ටියානු (Atlantic Forest) ඇමසන් වනාන්තර කැබලි වීම වසර ගණනාවක් තිස්සේ සිදු වූ ක්‍රියාවලියක්. එනිසා කුඩා වනාන්තර කැබලි (Atlantic Forest) වලට සිරවුණු ඇතැම් සත්ව විශේෂ දැඩිව වඳවීමේ තර්ජනයට මුහුණ දුන්නා. උදාහරණයක් විධියට ගෝල්ඩන් ලයන් ටැමරීන් (Golden lion tamarin) සහ බ්ලැක් ලයන් ටැමරින් (Black lion tamarin) වැනි ප්‍රයිමේටාවන් (Primates). මේ සතුන් සංරක්ෂණය සඳහා එරට සංරක්ෂණවේදීන් යොදාගත් උපක්‍රමය වූයේ ශේෂ වූ වනාන්තර කැබලි මිනිසුන්ගේ ග්‍රහණයට තිබූ භූමි හරහා දිවෙන වනාන්තර මංකඩවලින් එකිනෙකට යා කිරීම. ඒ සඳහා එරට සංරක්ෂණවේදීන් බ්‍රසීලයේ ඉඩම් නීතිය ද පාදක කර ගත්තා. ඔවුන් අද වන විට ලොව දීර්ඝතම වනජීවී මංකඩ ජාලය නිර්මාණය කර අවසන්.

Institute for Ecological Resea රජය නැත්නම් ඉපේ (IPE) කියන්නේ බ්‍රසීලයේ ඇට්ලාන්ටික් වනාන්තර රැකගැනීම සහ ඒවායේ ජීවත් වන සත්ත්ව විශේෂ රැකගැනීම සඳහා කැපවීමෙන් වැඩකරන රාජ්‍ය නොවන සංවිධානයක්. ඔවුන් මේ කලාපයේ ගස් මිලියන 1.4 ක් සිටුවා ප්‍රධාන ආරක්ෂිත කලාප එකිනෙක හා යාකර තිබෙනවා. ඔවුන් හෙක්ටයාර 3000ක හායනයට ලක් වූ වනාන්තර ප්‍රතිෂ්ඨාපනය කර තිබෙනවා.

“මේ සඳහා ඉඩම් හිමියන්ගේ සහයෝගය අපට අවශ්‍යයි. මෙයට සම්බන්ධ වූ සෑම කෙනෙකුටම ප්‍රතිලාභ ලැබෙනවා. විශාල ඉඩම් හිමියන් ඔවුන්ගේ නීතිමය පාරිසරික වගකීම් ඉටු කරනවා, එය ඔවුන්ට මූල්‍යමය වශයෙන් ආකර්ෂණීය වෙන බවට සැකයක් නැහැ. නැවත වන වගා වැඩසටහනට තවාන් පැළ විකිණීමෙන් ප්‍රාදේශීය ප්‍රජාවන්ට මූල්‍යමය වශයෙන් ද ප්‍රතිලාභ ලැබෙනවා. වැදගත්ම කරුණක් නම්, මෙම ප්‍රයත්නයන් සියලු මිනිසුන්ට අවශ්‍ය පාරිසරික සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමට හැකිවීමයි”. මෙහෙම කියන්නේ ආචාර්ය ලෝරි කොලින් (Dr.Laury Cullen Jr.) ඔහු “ඉපේ” ප්‍රධානියා වගේම ලෝකයේ ගෞරවයට පාත්‍ර වූ සංරක්ෂණවේදියෙක්, පර්යේෂකයෙක් සහ මහාචාර්යවරයෙක්.

මෑතක කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී තිබෙනවා ජගුවරයන් (Jaguar), පූමා (Puma), ටේපියර් (Tapir) වැනි විශේෂ පවා මේ වනාන්තර’ මංකඩවල් හරහා සංක්‍රමණය වන බව. ඒ වගේම වන ජීවී – මිනිස් ගැටුම් අවම වෙන්නත් වන ජීවී මංකඩවල් හේතු වී තිබෙනවා.

“ආරම්භයේ දී මේ ව්‍යාපෘතිය මෙතරම් සාර්ථක වේ යැයි සිතුවේ නැහැ. නමුත් මම දැන් ඔබට කියන්නේ මෙය ඉතා සාර්ථක බවයි. ප්‍රාදේශීය ප්‍රජාවගේ සක්‍රීය දායකත්වයක් සමඟ අප ඉතා ඉහළ සාර්ථකත්වයක් ළඟා කරගෙන තිබෙනවා. මෙය කළ හැකි සහ කළ යුතු දෙයක්. අප දිනපතා මෙහි සාර්ථකත්වය අත්දකිමින් ඉන්නවා. අප ඉතා සුබවාදීව සහ බලාපොරොත්තු සහගතවයි ඉන්නේ”’

මම හිතන්නේ අපටත් ලෝරි වැනි සංරක්ෂණවේදීන් සහ නායකයන් අවශ්‍යයයි. හැමදේම විවේචනය කරන සහ සංරක්ෂණයේ නාමයෙන් වැජඹෙන පුද්ගලයන් වෙනුවට සංරක්ෂණය අර්ථවත් කරන මිනිසුන් අපට අවශ්‍යයයි.

මංජුල කරුණාරත්න
සංරක්ෂණ භූගෝල විද්‍යාව පිළිබඳ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment