ඛනිජ තෙල් ආනයනික සමාගම් රටට ප්‍රතිලාභ ගෙන එයිද…?

1008

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන චීනයේ සිනොපෙක් සමාගම සමග ශ්‍රී ලංකාව දිගුකාලීන ගිවිසුමක් සඳහා පසුගිය දින අත්සන් කරන ලදී. සිනොපෙක් සමාගම චීන රජය සතු සමාගමක් වන අතර මෙම ගිවිසුම හරහා ඛනිජ තෙල් නිෂ්පාදන, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම ආදී කටයුතු කිරීම සඳහා එම සමාගමට අවසර හිමිවනු ඇත.

ඒ අනුව සයිනෝපෙක් ෆුවල් ඔයිල් ලංකා පුද්ගලික සමාගම, චීනයේ එහි මව් සමාගම සහ සිංගප්පූරුව සමග එක්ව ඛනිජ තෙල් නිෂ්පාදන මෙරටට ආනයනය කිරීම, ගබඩා කිරීම සහ අලෙවිය සඳහා දීර්ඝ කාලීන ගිවිසුමකට එළඹ තිබේ. බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු දින 45ක් ඇතුළත සිනොපෙක් සමාගම සහ එහි අනුබද්ධ සමාගම් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.

ඛනිජ තෙල් නිෂ්පාදනය හා බෙදා හැරීම සම්බන්ධයෙන් වන තරගකාරී වෙළෙඳපොළ වෙතට චීනය පමණක් නොව ඔස්ටේ්‍රලියාව සහ ඇමරිකාව ද එක්වීමට නියමිතව ඇත. ඊට අදාළ ගිවිසුම් ද මේ දිනවල අත්සන් තබමින් පවතී. ඉන්ධන බෙදා හැරීමට අදාළව ඉන්දියන් ඔයිල් සමාගම :ෂධක්‍* ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළට සම්බන්ධ වී ඇත්තේ අද ඊයේ නොවන අතර එය 2003 වසර දක්වා දිවයයි. ඉන්දියන් ඔයිල් සමාගම මෙරට වෙළෙඳ පොළට පිවිසෙන්නේ රජයට අයත් සංස්ථාවක් වශයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දේශීය වෙළෙඳපොළ තුළ වෙළෙඳ අධිකාරියක් හොබවන අවස්ථාවකදීය. එනම් වෙළෙඳ ඒකාධිකාරයක් තනි ආයතනයකට හිමිවීමෙන් ඛනිජ තෙල් බෙදා හැරීම නිෂ්පාදන සම්බන්ධයෙන් දැරීමෙන් සිදු වන අයහපත් බලපෑම් අවම කිරීම සඳහාය. එනම් තරගකාරී වෙළෙඳපොළ හරහා තරගකාරී මිල ගණන් යටතේ වඩා හොඳ පාරිභෝගික සේවාවක් ලබා දීමේ අරමුණ පෙරදැරි කරගෙනය. ඒ අනුව ඉන්දියන් ඔයිල් සමාගම මෙරට සිය වෙළෙඳ හවුල්කාරිත්වය මගින් රට පුරා සිය මෙහෙයුම් පුළුල් කර ගනිමින් මෙරට පාරිභෝගිකයන් වෙත ගුණාත්මක සේවාවක් ලබා දීමට කටයුතු කරන ලදී. මෙරට ඉන්ධනවල හිඟයක් පැවැති අවධියේ ඉන්දියන් ඔයිල් සමාගම සිදු කළ කාර්යභාරය මෙරට ඉන්ධන පාරිභෝගිකයන්ට අමතක නොවනු ඇත.

සයිනෝපෙක් ෆුවල් ඔයිල් ලංකා පුද්ගලික සමාගම සමඟ ගිවිසුම්ගත වීම ඛනිජ තෙල් වෘත්තීය සමිතිවල දැඩි විරෝධය අතරතුර වුවද මේ වන විට අවසන් වී ඇත. එය මෙරට බලශක්ති ක්ෂේත්‍රය මෙන්ම දේශපාලන ආර්ථික හා සමාජ ක්‍රියාවලියට ද අනාගතයේ බලපෑම් එල්ල විය හැකි ආකාරයේ ගිවිසුමක් වනු ඇති බවත් පාර්ශ්වයන් අදහස් ඉදිරිපත් කර ඇත. මෙය දීර්ඝ කාලීන ගිවිසුමක් වන අතර සයිනෝපෙක් ෆුවල් ඔයිල් ලංකා පුද්ගලික සමාගම චීනයේ සහ සිංගප්පූරුවේ ක්‍රියාත්මක වන තම මව් සමාගම යටතේ ඛනිජ තෙල් ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම පිළිබඳ ගිවිසුමට සම්බන්ධ වීමට නියමිතය. මෙම ගිවිසුම්ගත වීමත් සමග ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා ග්‍රහණයේ පැවැති ඉන්ධන බෙදාහැරීමේ අලෙවිසල් 150 ක් ඔවුන්ට අහිමි වීම සිදු වේ. මෙරට ප්‍රධාන දේශපාලන ප්‍රවාහනයන් නියෝජනය කරන සියලු වෘත්තිය සමිති ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලිකරණය කිරීමේ වැඩපිළිවෙළට දැඩි විරෝධය එල්ල කර ඇති අතර ඊට එරෙහිව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කරන බවට අනතුරු ඇඟවීමක් සිදු කර ඇත. ඒ තුළින් අත්‍යවශ්‍ය සේවා කටයුතු අඩාල වී ආර්ථික ප්‍රගමනයට බලපෑම් එල්ල විය හැකිය.

ලංකා ඛණිජ තෙල් සමාගමට අනුබද්ධ වෘත්තීය සමිති අටක් 1961 අංක 28 දරන ඛණිජ තෙල් නීතිගත සංස්ථා පනතට සංශෝධන ගෙන ඒමට එරෙහිව සිය විරෝධතා වසර දෙකක කාලයක් තිස්සේ ඉදිරිපත් කරන ලදී. මෙම ඛණිජ තෙල් නීතිගත සංස්ථා පනතට සංශෝධන ගෙන ඒම තුළින් ඛනිජ තෙල් ආනයනය, පිරිපහදු කිරීම, වෙළෙඳපොළට නිකුත් කිරීම, නිෂ්පාදනය සහ බෙදා හැරීම ඕනෑම පෞද්ගලික පාර්ශ්වයකට බලපත්‍ර නිකුත් කිරීමට බලශක්ති අමාත්‍යවරයාට අවසර හිමි වීම ජාතික ආරක්ෂාව ඇතුළු මෙරට ඉන්ධන බෙදා හැරීමේ ක්ෂේත්‍රයට අයහපත් ආකාරයෙන් බලපෑම් එල්ල විය හැකි බවට එම වෘත්තිය සමිති අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. එම අවදියේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතා පැවසුවේ අදාළ පනත සංශෝධනය කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව එවකට විෂය භාර අමාත්‍යවරයා ලෙසට කටයුතු කළ උදය ගම්මන්පිල මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවයි.

ඛනිජ තෙල් සංස්ථාව සතු දේපළ පෞද්ගලික අංශයට ලබාදීම, ඉන්ධන නිෂ්පාදනය, බෙදාහැරීම හා විකිණීම පෞද්ගලික අංශයට ලබාදීම සහ ගුවන් යානා ඉන්ධන ගෙන්වීම හා බෙදාහැරීම පෞද්ගලික අංශයට ලබාදීම යන කාරණාවලට විරුද්ධ වීමට ඒ අනුව ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති තීරණය කර තිබුණි.

රජයට නව ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන ඉදිකිරීමට අවශ්‍ය නම් ඛණිජ තෙල් නීතිගත සංස්ථා පනතට සංශෝධන ගෙන ඒමෙන් වැළැකී කටයුතු කරන ලෙසට වෘත්තිය සමිති රජයෙන් ඉල්ලා සිටියි. ඒ අනුව නව පිරිපහදු මධ්‍යස්ථාන ඇති කරන්නේ නම් එය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහ පාර්ලිමේන්තුව හරහා සිදු කළ හැකි බවට ආනන්ද පාලිත මහතා පවසා තිබුණි.

කෙසේවෙතත් සියලු විරුද්ධත්වය නොතකා, කැබිනට් මණ්ඩලය විසින් සිනොපෙක් සඳහා බලපත්‍ර අනුමත කරන ලදී. ඒ අනුව යුනයිටඩ් පෙට්‍රෝලියම් ඔස්ටේ්‍රලියා, සහ ඇමරිකා එක්සත් ජනපදයේ ආර්. එම්. පාර්ක්ස් සමාගම් වෙත ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදා හැරීමේ වෙළඳපොළට ඇතුළු වීමටයි අනුමැතිය ලබා දී ඇත. විදේශීය සමාගම් තුනට මෙරට ඉන්ධන බෙදා හැරීමේ මෙහෙයුම්වල නිරත වීමට බලපත්‍ර නිකුත් කිරීමට බලශක්ති හා ප්‍රසම්පාදන කමිටුව තීරණය කර ඇත. එම අනුමැතියට අනුව එක් එක් ආයෝජකයෙකුට අලෙවි නියෝජිතයන් විසින් මෙහෙයවනු ලබන ඉන්ධන පිරවුම්හල් 150ක් වෙන් කර ඇති අතර එම ඉන්ධන පිරවුම්හල් දැනට රජයට අයත් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන පිරවුම්හල් වේ. මේ මගින් එම පුද්ගලික සමාගම්වලට දැනට ස්ථාපිත ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඒකක වල සංවර්ධනය සහ යටිතල පහසුකම් දියුණු කිරීමට හැකියාව හිමි වන අතර පවතින පාරිභෝගික පදනමෙන් ප්‍රතිලාභ හිමිකර ගැනීමට ද හැකියාව හිමි වේ. මෙම තෝරාගත් විදේශීය සමාගම් වලට වසර 20 ක් සඳහා ක්‍රියාත්මක වීමට බලපත්‍රයක් නිකුත් කිරීමක් සිදු කරන අතර එහිදී ඛනිජ තෙල් නිෂ්පාදනය, ආනයනය කිරීම, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ විකිණීම සඳහා අවසර හිමිවේ. කෙසේවෙතත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කර සිටින්නේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන බෙදා හැරීමේ ඒකාධිකාරයෙන් රට මුදාගෙන තරගකාරී වෙළෙඳපොළක් මගින් මහජනතාවට සහන සැලසීම මෙම වැඩපිළිවෙළින් අපේක්ෂා කරන බවයි. මෙම වැඩසටහන මගින් නව ආයෝජන දිරිමත් කිරීම හා මෙරට අර්බුදකාරී ආර්ථිකය සාමාන්‍යකරණය කිරීම යෝජිත වැඩපිළිවෙළින් බලධාරීන් අපේක්ෂා කරයි.

ඉන්දියන් සාගරයේ ඉතා වැදගත් ස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය පැවැත්ම සහ චීන සාධකය සලකුණු කිරීමට චීනය වසර ගණනාවක් තිස්සේ කටයුතු කරමින් ඊට අඩිතාලම යොදමින් සිටියි. මෙයට ප්‍රධානතම හේතුව ශ්‍රී ලංකාව ගෝලීය භූ දේශපාලනය තුළ උපායමාර්ගික ස්ථානයක පිහිටා තිබීමයි.

චීනයේ සිට ආසියාව හා යුරෝපය කරා වැටුණු පුරාණ වෙළෙඳ මාර්ග එනම් සේද මාවතේ ආර්ථික තීරය යන සංකල්පය ඔස්සේ චීනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වන බව නොරහසකි. මෙම කාරණය 2014 දී ආචාර්ය සමන් කැලේගම විසින් සිදු කරන ලද පර්යේෂණාත්මක විග්‍රහයක් මගින් ද අනාවරණය කර ඇත.

21 වන සියවසේ සමුද්‍රීය සේද මාර්ග ව්‍යාපෘතිය, 2014 දී චීන ජනාධිපති ෂී ජින්පින් විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර ඒ මගින් සංවර්ධනය වෙමින් පවතින රටවල මූලික අවශ්‍යතා සපුරාලීමට එම රටවල යටිතල පහසුකම් දියුණු කිරීමේ ආයෝජන කටයුතු වල නිරත වීමට චීනය කටයුතු කරයි. උපායමාර්ගික මධ්‍යස්ථාන සහ ජාත්‍යන්තර අධ්‍යයන ආයතනය මගින් සිය වාර්තාවක දක්වන ආකාරයට උපායමාර්ගික මධ්‍යස්ථානයක් ලෙසට චීනයට ශ්‍රී ලංකාව අවශ්‍ය බවයි. ඊට එක් හේතුවක් ලෙසට දක්වන්නේ සමුද්‍රීය සේද මාවත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පකිස්තානය දේශපාලනික වශයෙන් මේ වන විට ඉතා අස්ථාවර තත්ත්වයක පසුවන නිසා දකුණු ආසියානු කලාපයේ එහි බලකොටුවක් ලෙසට ශ්‍රී ලංකාව යොදා ගැනීම චීනයට අවශ්‍ය බවයි. ඉන්දියන් සාගරය තුළ චීනය විසින් දියත් කරන මෙම උපායමාර්ගික වැඩපිළිවෙළ පසුගිය දශකයේ සිට ඉතා තීව්‍ර ලෙසට ආරම්භ කරන ලදී. 2013 වසර වන විට හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, අධිවේගී මාර්ග සහ තාප විදුලි බලාගාර ඉදි කරමින් ශ්‍රී ලංකාව තුළ ඩොලර් බිලියන ගණනක ආයෝජනය ව්‍යාපෘති රැසක් චීනය ආරම්භ කර තිබුණි. ශ්‍රී ලංකාවේ විදේශ ණයවලින් 10.5% ක් චීනයෙන් ලබා ගත් ණය වේ. කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය ඇතුළු ආයෝජන ව්‍යාපෘති තවමත් මුදල් උත්පාදනය කිරීමක් සිදු නොකරයි. උදාහරණයක් ලෙස කොළඹ වරාය නගර සංවර්ධනය සිරස් අතට ගොඩනැංවීමක් නොමැතිව ගොඩකරන ලද සමතලා බිම් ප්‍රදේශයක ලෙසට පවතින්නේ බලාපොරොත්තු වූ විදේශීය ආයෝජන ඒ සඳහා තවමත් නොලැබීම නිසයි.

ආචාර්ය ලලිත් ගුණසේකර

advertistmentadvertistment
advertistmentadvertistment