ඉසිපතන, ත්‍රිත්ව, වෙස්ලි, ශාන්ත තෝමස්, සහිරා, ඩී. එස්., ශාන්ත පීතර සහ රාජකීය අවසන් පූර්ව වටයට

27

“ජනාධිපති අභියෝග කුසලාන” රග්බි පාපන්දු තරගාවලිය

ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහක ශක්තිය ඇතිව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් මෙහෙයවන “ජනාධිපති අභියෝග කුසලාන” පාසල් අවුරුදු 19න් පහළ පිළිමළුන් පිටු දැකීමේ රග්බි පාපන්දු තරගාවලියේ ආරම්භක සතියේ ජයග්‍රහණ අත්කර ගනිමින් කැපී පෙනෙන්නට කොළඹ ඉසිපතන, මහනුවර ත්‍රිත්ව, කොළඹ වෙස්ලි, ගල්කිස්ස ශාන්ත තෝමස්, කොළඹ සහිරා, කොළඹ ඩී. එස්. සේනානායක, බම්බලපිටිය ශාන්ත පීතර සහ කොළඹ රාජකීය විදුහල් සමත් විය. ඒ අනුව අර්ධ අවසාන පූර්ව වටයට වරම් උදා කර ගැනීමට මෙම පාසල් 08 සමත් විය.

රාජකීය ලකුණු 28 – කිංග්ස්වුඩ් ලකුණු 24

සී. ආර්. ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක කෙරුණු රාජකීය සහ කිංග්ස්වුඩ් යන දෙවිදුහල් අතර තරගය ආරම්භයේ සිට අවසානය දක්වාම අතිශය තියුණු හා උණුසුම් මුහුණුවරකට අනුවර්තනය වී තිබීම කැපී පෙණුනි. තරගයේ පළමු අර්ධය තුළ සංවිධානාත්මක ක්‍රීඩා රටාවක නිරත වෙමින් පෙරමුණ ගැනීමට කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් සමත් වීම කැපී පෙණුනු නමුත් දෙවන අර්ධය තුළ රාජකීය විදුහල ප්‍රදර්ශනය කළ දක්ෂතා හමුවේ ලකුණු 28 – 24 ක පරාජයක අමිහිර අත්විඳින්නට අකමැත්තෙන් වුවද සිදු විය.

ශාන්ත පීතර ලකුණු 51 – තර්ස්ටන් ලකුණු 08

ශාන්ත පීතර සහ තර්ස්ටන් යන දෙවිදුහල් අතර පැවති තරගය අභියෝගයකින් තොරව ජය ගැනීමට ශාන්ත පීතර ක්‍රීඩකයින් සමත් වූයේ ලකුණු 51 – 08 ක් ලෙසිනි.

ප්‍රථම භාගයේ නිමාව සිදු වන විට ලකුණු තත්ත්වය 34 – 03 කි.

ත්‍රිත්ව ලකුණු 62 – ශාන්ත අන්තෝනි 05

විදුලි ආලෝක ධාරා මැද ලොන්ඩන් පෙදෙසේ සී. ආර්. පිටියේ දී ක්‍රියාත්මක කෙරුණු තරගයේ දී සාම්ප්‍රදායික ප්‍රතිමල්ලවයන් වන ත්‍රිත්ව විදුහල හමුවේ ලකුණු 62 – 05 ක පරාජයක අමිහිර අත්විඳින්නට ශාන්ත අන්තෝනි විදුහලට සිදු විය.

ඉසිපතන ලකුණු 61 – ශ්‍රී සුමංගල ලකුණු 00

ලොන්ඩන් පෙදෙසේ සී. ආර්. පිටියේ දී පැවති තරගයේ දී ඉසිපතන විදුහල හමුවේ ලකුණු 61 – 00 ක පරාජයක් අත්විඳින්නට ශ්‍රී සුමංගල විදුහලට සිදු විය.

ශාන්ත තෝමස් ලකුණු 59 – විද්‍යා ලකුණු 35

තරගය නිමා වන විට ලකුණු 59 – 35 ක් ලෙස පෙරමුණ ගැනීමට ශාන්ත තෝමස් විදුහලට හැකියාව ලැබිණි.

ජයග්‍රාහකයින් ගෝල් දිනුම් 07 ක් සහ උත්සාහක දිනුම් 02 ක් ආශ්‍රිතව තම ලකුණු එකතුව සටහන් කර ගත් අතර උත්සාහක දිනුම් 05 ක් මගින් විද්‍යා විදුහල ලකුණු පුවරුව ඉහළ නැංවීමට සමත්විය.

සහිරා ලකුණු 16 – විද්‍යාර්ථ ලකුණු 12

හැව්ලොක්ස් පිටියේ දී ක්‍රියාත්මක කෙරුණු තරගයේ දී සහිරා විදුහල හමුවේ ලකුණු 16 – 12 ක පරාජයක් අත්විඳින්නට විද්‍යාර්ථ විදුහලට සිදුවිණි.

වෙස්ලි ලකුණු 36 – ශාන්ත ජෝශප් ලකුණු 23

රීඩ් මාවතේ පිහිටි රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණපිටියේ දී ක්‍රියාත්මක කෙරුණු තරගයේ දී වෙස්ලි විදුහල හමුවේ ලකුණු 36 – 23 ක් ලෙස ශාන්ත ජෝශප් විදුහල පරාජය ලැබීය.

ඩී. එස්. සේනානායක ලකුණු 48 – ධර්මරාජ ලකුණු 29

ලොන්ඩන් පෙදෙසේ පිහිටී සී. ආර්. පිටියේ දී පැවති තරගයේ දී ඩී. එස්. සේනානායක විදුහල හමුවේ ලකුණු 48 – 29 ක පරාජයක් ලැබීමට ධර්මරාජ විදුහලට සිදු විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර


advertistmentadvertistment