‘ඩයලොග් අභියෝග කුසලාන’ තරගාවලිය
ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක ‘ඩයලොග් අභියෝග කුසලාන’ අවුරුදු 20 න් පහළ ප්‍රමුඛ පෙළ ලීග් ශූරතා රග්බි පාපන්දු තරගාවලියේ 05 වැනි සතියේ දෙවන දින තරග ආශ්‍රිතව ජයග්‍රහණ වාර්තා කර ගැනීමට කොළඹ ඉසිපතන විදුහල, ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල, මහනුවර විද්‍යාර්ථ විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල සමත් විය.
ඒ අනුව ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල හමුවේ මහනුවර ශ්‍රී සුමංගල විදුහල ලකුණු 57 – 18 ක් ලෙස ද මහනුවර ධර්මරාජ විදුහල හමුවේ ගල්කිස්ස විද්‍යා විදුහල ලකුණු 15 – 10 ක් ලෙස ද මහනුවර විද්‍යාර්ථ විදුහල හමුවේ කොළඹ තර්ස්ටන් විදුහල ලකුණු 52 – 20 ක් ලෙස ද කොළඹ ඉසිපතන විදුහල හමුවේ කොළඹ ඩී. සේනානායක විදුහල ලකුණු 27 – 24 ලෙස ද පරාජය ලැබීය.
ප්‍රමුඛ පෙළ ‘ඒ’ කාණ්ඩයේ එකම අපරාජිත කණ්ඩායම බවට පත් වෙමින් පෙරමුණ ගැනීමට ඉසිපතන ක්‍රීඩකයින් සමත් වීම කැපී පෙණුනි. ඒ අනුව ප්‍රසාද ලකුණු 27 කට හිමිකම් කියන්නට ඉසිපතන විදුහලට හැකියාව ලැබිණි.
ලකුණු 23 කට හිමිකම් කියන ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල දෙවන ස්ථානයේ පසු වෙයි.
මෙවර තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ පළමු ස්ථානය බම්බලපිටිය ශාන්ත පීතර විදුහල (ලකුණු 30) හිමි කර ගන්නා අතර වාරයේ දී කොළඹ රාජකීය විදුහල (ලකුණු 29) දෙවැනි ස්ථානයේ පසු වෙයි.
අනුරුද්ධ හේරත් බණ්ඩාර