උතුරෙන් සජිත්ට විකල්පයක්

1110

උතුරේ ගැටලු විසඳීමට සාධනීය මැදිහත්වීමක් නොකරන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණයේ දී විකල්පයක් ලෙස පොදු අපේක්ෂකයකු පිළිබඳ යෝජනාවක් ද උතුරේ දෙමළ පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත පවසා ඇත.

සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සතියේ උතුරේ කළ සංචාරයේ දී දෙමළ නායකයන් කිහිපදෙනකු හමුවී ඇති අතර එහි දී ප්‍රේමචන්ද්‍ර්‍රන් මහතා මේ බව පවසා තිබේ.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ‘13 ප්ලස්’ ගැන කතා කරමින් 13 වත් ක්‍රියාත්මක නොකළ පසුගිය පාලකයින් සමහර අවස්ථාවලදී 13 මයිනස් කළ බවයි. පළාත් සභා පාසල් සහ පළාත් රෝහල් මධ්‍යම රජයට පවරා ගනිමින් පළාත් සභාවලට ප්‍රතිපාදන පවා නොලැබෙන තත්ත්වයක් උදා කළ බව ඔහු කියා ඇත.

මේ නිසා උතුරේ ගැටලුව විසඳීමට සාධනීය මැදිහත්වීමක් නොකරන්නේ නම් එය තමන්ට දැනෙන ප්‍රකාශනයක් නොවන්නේ නම් විකල්පයක් ලෙස පොදු අපේක්ෂකයකු පිළිබඳ යෝජනාව ඉදිරිපත් වී ඇති බව ද ඔහු එම සාකච්ඡාවක දී කියා තිබේ. එහිදී විපක්ෂ නායක කියා ඇත්තේ 13 වැනි සංශෝධනය පිළිබඳව තමා කරනු ලබන ප්‍රකාශය වෙනත් අය කළ ප්‍රකාශවලට සමාන කොට නොසලකන ලෙසයි.

විපක්ෂ නායක සිය උතුරු පළාත් සංචාරයේ දී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන් ඇතුළු පිරිසක් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන කාර්යාලයේදී හමුවී සාකච්ඡා කර ඇත.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා සහ ආනන්දි ශෂිදරන් ෆොක්ස් හෝටලයේදී මුණගැසී තිබේ. උතුරේ හිටපු මහ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේෂ්වරම් මහතා මුණගැසී තිබුණේ නල්ලූර් පිහිටි නිවසේදීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment