උසස් පෙළ සිසු දරුවන්ට හිමි අධ්‍යාපන කාලය වහා ලබාදෙන්න – විභාගයට ඇත්තේ තව මාස දෙකයි

65

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී

අධ්‍යාපන දෙපාර්තමේන්තුවම පිලිගෙන ඇති පරිදි විභාගය සඳහා වන වසර 2.5 අධ්‍යාපන කාලය එම දරුවන්ට ලබාදෙමින් විභාගය පැවැත්වීමට කටයුතු කරන ලෙස විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එහි මෙසේද සඳහන් වේ.

2023 අධ්‍යයන වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීමෙහිලා විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිසුන්ගේ අයිතිවාසිකම් සහ ප්‍රායෝගික තත්ත්වයන් නොසලකා හරිමින්, ඉතා අසාධාරණ ලෙස සිසු දරුවන්ගේ අනාගත ජීවිතයට ඉතා අහිතකර බලපෑම් එල්ල වන අයුරින් කෙසේ හෝ තම පරිපාලන කාලසටහන් සාර්ථක කරගැනීමේ මිලේච්ඡ අරමුණක නිරතව සිටින බව විපක්‍ෂ නායකවරයා ලෙස මෙන්ම, සුවහසක් වූ සිසු දරුවන්ට යහපත් අනාගතයක් අපේක්‍ෂා කරන නායකයකු ලෙස මගේ අවධානය යොමු වී ඇත.

ආර්ථික අර්බුදය හමුවේ රට අස්ථාවර තත්ත්වයන්ට මුහුණ දෙන යුගයක සිය ජීවිතයේ වැදගත්ම කඩයිම ආරම්භ කිරීමට සිදුවීම එම දරු දැරියන්ගේ අවාසනාව නොව පාලක පක්‍ෂයේ අසමත්භාවය බව පාලකයන් සිහිතබා ගත යුතුය. එම අසීරු තත්ත්වයට රට ඇද දැමූ පාලකයන් නිසා එම දරුවන්ට සිය වැදගත්ම අධ්‍යයන වර්ෂයේ පාසල් යෑමට තිබූ දින ගණන සීමාවීමේ පාඩුව එම දරුවන් පිට හෝ ගුරුවරුන් පිට පැටවීමට කිසිම සදාචාරාත්මක අයිතියක් ආණ්ඩුවට නොමැත. එම නිසා විෂය නිර්දේශය ආවරණය නොවී, නියමිත වාර විභාග 6 න් 4 ක් පමණක් පවත්වා ඇති පසුබිමක විභාගය නියමිත කාලයට කලින් පැවැත්වීම යනු සිසු දරුවන්ට සාධාරණ අවස්ථාවක් ලබාගැනීමට ඇති මානව හිමිකම අමු අමුවේ වළලා දැමීමක් ලෙස හැඳින්විය හැකිය. මේ හේතුවෙන් සිසුන් විශාල පිරිසක් දැඩි මානසික පීඩනයකට ලක්වී ඇත.

එසේම මෙවැනි අන්ධකාර යුගයක සිය ජීවිත ගැටගසා ගැනීමේ දුෂ්කර අරගලයක නිරත වූ 2022 වසරේ උසස් පෙළ විභාගයට මුහුණ දුන් දරුවන්ටද මේ තුළින් සිදුවනුයේ බලවත් අසාධාරණයකි. මේ වන විටත් 2022 විභාග ප්‍රතිඵල නිකුත් නොකර ඇති පසුබිමක බලධාරීන් විසින් 2023 විභාගයට නියමිත දිනයට වඩා මාස පහකට අධික කාලයක් කපා දමා 2023 නොවැම්බර් මාසයට විභාග දින නියම කිරීම මගින් දෙවන වර විභාගයට සූදානම් වීමට එම දරුවන්ට ඉතුරු කරන්නේ මාස දෙකකටත් අඩු කාලසීමාවකි. එසේම විෂය වෙනස් කර විභාගයට පෙනී සිටින දරුවන්ට මෙය කිසිසේත් ප්‍රමාණවත් නොවන කාලයකි.

advertistmentadvertistment
advertistmentadvertistment