එංගලන්තයේ ප්‍රධාන සංඝ නායක පදවියට පත් ශාස්ත්‍රපති පෙතිගමුවේ හේමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

80

එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ඉල්ෆ්‍රඩ් නගරයේ රෙඩ්බ්‍රිජ් බෞද්ධ විහාරයේ ආධිපත්‍යය හොබවමින් ශ්‍රී ලාංකේය ථේරවාද බුද්ධධර්මයේත් සිංහල සංස්කෘතියේත් අභිමානය ප්‍රචලිත කරලන්නට කැපවී ක්‍රියාකරන ශාස්ත්‍රපති පෙතිගමුවේ හේමරරතන මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව එංගලන්තයෙහි ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනැමීම ගිහි පැවැදි සැමගේ සතුටට හේතුවනු නොඅනුමානය.

මොල්ලිගොඩ සංඝ පරම්පරාවේ සාමාජිකයකු ලෙස එවකට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ධුරය හෙබවූ මොල්ලිගොඩ ශ්‍රී අරියවංස මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හොරණ ලබුගම සිරි ධම්මරක්ඛිතාරාමයේදී පැවැදිවූහ. එම විහාරාධිපතිව වැඩ සිටි මොල්ලිගොඩ පියරතන මාහිමිපාණන් වහන්සේගේත් එවකට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරය ශෝභාමත් කොට පසුව මහා නායක පදවියට පත්වූ රාජකීය පණ්ඩිත ලබුගම ශ්‍රී ලංකානන්ද මහා නායක මාහිමිපාණන් වහන්සේගේත් මොල්ලිගොඩ වසන්තාරාමාධිපතිව වැඩි සිටි ගෝණදූවේ පඤ්ඤානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේත් ශිෂ්‍යවරයන් වහන්සේ නමක් ලෙස හේමරතන නාහිමියෝ පැවිදි වූයේ 1970 ජූලි 04 වන දින දීය. ඉන් වසර නවයකට පසු එනම් 1979 දී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ සිරි මංගල උපෝසථාගාරයේ දී උතුම් වූ උපසම්පදාව ලැබූහ.

පැවිදි වනවිට උන්වහන්සේගේ වයස අවුරුදු දොළසකි. ශ්‍රී ලංකාද්වීපයේ ඓතිහාසික රයිගම් කෝරළයේ හොරණට නුදුරු පෙතිගමුව නම් ගමෙහි විසූ කාරියකරවනගේ හර්මන් පෙරේරා හා රැටියලගේ මිසිනෝනා දම්පතීහු උන්වහන්සේගේ මවුපියවරු වෙති. එම දෙමාපියන්ගේ දරුවන් සත් දෙනා අතුරින් පස්වන දරුවා ලෙස 1958 මාර්තු මස 02 වැනිදා උන්වහන්සේ මෙලොව උපන්හ.

ශ්‍රී ලාංකේය භික්‍ෂුවක විසින් සපුරාගත යුතු අධ්‍යාපන ශක්‍යතා රැසක් තමන් වහන්සේ වෙත ලබාගත් හේමරතන හිමියෝ ස්වකීය අධ්‍යාපනයේ ප්‍රතිඵල සමාජය වෙත ප්‍රදානය කිරීමේ මහඟු කාර්යයට අවතීර්ණ වූයේ 1984 වර්ෂයේදීය. විශ්වවිද්‍යාල ප්‍රථම උපාධිය ලැබීමත් සමඟ උන්වහන්සේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල මහා කාශ්‍යප විද්‍යාලයේ ඉංග්‍රීසි උපගුරු තනතුරකට පත්වූයේ 1984.04.16 දින සිට ක්‍රියාත්මක වන පරිදිය. කොටි ත්‍රස්තවාදීන්ගේ දැඩි ප්‍රහාර වලින් පීඩිත වූ එම ප්‍රදේශයේ දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාව දියුණු කිරීම සඳහාත් ඔවුන්ගේ ගුණනැණ වැඩීම සඳහාත් ඒ කාල තුළ ඇප කැපවී කටයුතු කිරීමට හේමරතන හිමියන්ට හැකියාව ලැබිණ. 1987 වසර දක්වා වසර තුනක් පමණ එම පාසලේ ඉගැන්වූ උන්වහනසේගේ නේවාසික විහාරස්ථානය වූයේ දිඹුලාගල අරණ්‍ය සේනාසනයයි. එකල එහි ආධිපත්‍යය හෙබවූ ලෝකප්‍රකට කිතලගම සීලාලංකාර නාහිමියන්ගේ කාරුණික අනුග්‍රහය උන්වහන්සේට නොඅඩුව ලැබුනේය. කොටි ත්‍රස්තවාදීන්ගේ තාඩන පීඩන මැද බුදුදහමේ හා සිංහල බෞද්ධයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වී ක්‍රියාකළ කිතලගම නාහිමියන් ඇසුරු කිරීමෙන් තම ජීවිතයට නවමු අත්දැකීම් හා ධෛර්යය ඇති කරගන්නට එම කාලය තුළ හේමරතන හිමියන්ට හැකියාව ලැබිණ. දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පිහිටුවා තිබූ මහාකාශ්‍යප පිරිවෙණෙහි කුඩා සාමණේරවරුන්ට ඉංග්‍රීසි භාෂාව හුරුකරවීමටද උන්වහන්සේ එකල උනන්දු වූහ.

භික්‍ෂුන් වහන්සේ නමක ලෙස ශාසනික හා විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය හදාරා ප්‍රතිඵල සම්පන්නව අධ්‍යාපනික හා ආගමික වශයෙන් වටිනා මෙහෙයක් ලංකාව තුළ ඉටුකරමින් වැඩි සිටි පෙතිගමුවේ හේමරතන හිමිපාණන් වහන්සේ 2004 වසරේ පෙබරවාරි මාසයේ දී එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ඉල්ෆඩ් නගරයේ පිහිටි රෙඩ්බ්‍රිජ් බෞද්ධ විහාරයේ ආධිපත්‍යය ලැබූහ.

ලන්ඩනයේ ජීවත්වූ රෙජිනෝල්ඩ් විමලසුන්දර මහතාගේ නායකත්වයෙන් පවුල් 20 ක පමණ පිරිසක් එකතුව 1995 වසරේ පටන් දරන ලද උත්සාහයක ප්‍රතිඵලය වශයෙන් 1998 නොවැම්බර් මාසයේදී ආරම්භ කළ රෙඩ්බ්‍රිජ් බෞද්ධ විහාරයේ කටයුතු සිදුකරගෙන යන්නට ස්වාමීන් වහන්සේ නමක් අවශ්‍ය බව ඊට සම්බන්ධ දායක පවුලක් විසින් මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙන්හි වර්තමාන විහාරාධිපති හා හෝමාගම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සමය අධ්‍යයන හා තුලනාත්මක දර්ශන අධ්‍යයන අංශාධිපති මහාචාර්ය හෝමාගම ධම්මානන්දාභිධාන කළුතර මහදිසාවේ ප්‍රධාන සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට දැනුම්දෙන ලදුව උන්වහන්සේගේ දැඩි ඉල්ලීම යටතේ හේමරතන හිමිපාණන් වහන්සේ එංගලන්තයට වැඩම කළහ.

රෙඩ්බ්‍රිජ් විහාරය ආරම්භ කරන ලද්දේ ස්වාමීන් වහන්සේ නමකගේ මගපෙන්වීම යටතේ නොව සැදැහැති දායක දායිකාවන්ගේ මූලිකත්වයෙනි. 1998 දී පවුල් විස්සකින් ඇරඹි දායක සභාව ශක්තිමත් වී පවුල් 1800000 ක් වටිනා ගොඩනැඟිල්ල මිලදී ගැනීමට අවශ්‍ය අඩිතාලම හේමරතන නාහිමියන් පැමිණෙන විට සකසා තිබිණි. ඒ සඳහා අවශ්‍ය වූ පවුම් 40000 ක තැන්පතුව සොයා ගැනීමට පැරණි දායක සභා සාමාජිකයෝ විවිධ වැඩසටහන් සංවිධානය කළහ. ඇතැම් විට වෙනත් අයගෙන් ණය පදනමෙන් මුදල් ඉල්ලා ගෙන පසුව පියවා දැමූහ. ඒ බව ඊට මුල්වූ එම පැරණි සාමාජිකයන්ගෙන් දැනට ජීවත්ව සිටින හේමා විමලසුන්දර මහත්මිය ඇතුළු දායකකාරකාදීහු අදත් සිහි කරති. හේමරතන හිමිපාණන් වහන්සේ එම කටයුතුවලට අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම් ලබාදුන්හ. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට රෙඩ්බ්‍රිජ් විහාරය ස්ථිර ගොඩනැඟිල්ලක පවත්වාගෙන යයි. ආගමික අවශ්‍යතා සඳහා පැමිණෙන පිරිසේ මෙන්ම දහම් පාසල් දරුවන්ගේද ප්‍රයෝජනය සඳහා ඉඩකඩ ඇති ශාලාවක් සහිතව පැරණි ගොඩනැඟිල්ලට නව කොටසක් එකතු කරමින් විහාරස්ථානයේ භෞතික දියුණු ද ඇති කරගන්ට හේමරතන හිමියෝ දායක සභාව හා එක්ව දිවා රාත්‍රී මහත් පරිශ්‍රමයක් දරා අගනා මෙහෙයක් ඉටුකර ඇති බව නොරහසකි.

සියලු කටයුතු කරමින් වැඩ වෙසෙන හේමරතන නාහිමිපාණන් වහන්සේ උපශාන්ත වූ පෙනුමෙන් හා කටයුතු වලින් පිරිපුන් නිරහංකාර තෙරනමකි. දැනුමෙන් සම්පතින් බලයෙන් හා නායකත්වයෙන් සමන්විත බොහෝ දෙනා එක එකකින් දැවී ගැලී මත්වී ක්‍රියාකරන සමාජයක උන්වහන්සේ ඒ කිසිදු තත්ත්වයකින් නොදැවී ක්‍රියාකරන ආදර්ශවත් භික්‍ෂූවරයාණන් වහන්සේ නමක වෙති. පරිහානි යුගයේ භාෂා ශාස්ත්‍ර හා ශාසනය නංවාලූ අසරණ සරණ වැලිවිට සිරි සරණංකර සංඝරාජයන් වහන්සේ අනුගමනය කළ උඩඟු නොවීමේ ආදර්ශය අප වෙත පතළ කෙරෙන චරිතයකින් උන්වහන්සේ ශෝභමාන වෙති.

අග්ගමහා ග්‍රන්ථ
වාචක පණ්ඩිත
මහාචාර්ය
මැදගම්පිටියේ
විජිතධම්ම හිමි
පාලි හා බෞද්ධ අධ්‍යනාංශය
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි
සාමග්‍රී ධර්ම මහ සංඝ සභාවේ කාරක සභික


advertistmentadvertistment