එට්කා ගිවිසුමෙන් පසු ලංකාව ඉන්දියානුවන්ගෙන් පිරී ඉතිරී යාවි – පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

351

මාර්තුවේදී එට්කා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඕනෑම ඉන්දියානුවෙකුට රැකියාවකට, වෙළඳාමකට ශ්‍රී ලංකාවට නිදහසේ පැමිණිය හැකි බවත් එසේ කලක් ගත වන විට ශ්‍රී ලංකාව ඉන්දියානුවන්ගෙන් පිරී යෑම සහ ශ්‍රී ලාංකිකයන් මේ රටේ සුළුතරය බවට පත්වීම නොවැළැක්විය හැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

රට ආර්ථිකමය වශයෙන් “හතරගාතයෙන්” වැටුණු මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිදුකරමින් සිටින්නේ රටේ ස්වෛරීත්වය බිල්ලටදීම බවත් දිනේෂ් ගුණවර්ධනලා සහ රාජපක්ෂලා එම පාපතර මෙහෙයුමට “පහන” අල්ලන බවත් ඒමහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

පසුගියදා කඩුවෙල කොස්වත්තේදී පැවති “9න් පසුව : ශ්‍රී ලංකාවේ ඉරණම?”‍ යන මැයෙන් පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

අද වන විට මේ පාලකයන් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඑනවා වෙනුවට මේ අර්බුදය යොදාගන්නවා අපේ රටේ ස්වෛරීත්වය බිල්ලට දෙන්න. මොළය නියමිත තැන පිහිටා නොමැති හරීන් ප්‍රනාන්දු කියා ඇමැතිවරයෙකු ඉන්දියාවට ගිහින් කියනවා, ‘ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක්‘ කියා. එහෙම කියලා ඒ ගොන් ඇමැතියා පල් හිනාවකුත් දානවා. මේ ප්‍රකාශයට එරෙහිව මම පාර්ලිමේන්තුව තුළ ප්‍රහාරයක් එල්ල කළාට පස්සෙ පාලු‍ ගෙයි වලන් බිඳිමින් හරීන් ප්‍රනාන්දු කියනවා, ‘බුද්ධාගම ආවේ ඉන්දියාවෙන්. ඒ නිසා අපි ඉන්දියාවේ කොටසක්’ කියා.

අපේ ආර්ථික මර්මස්ථාන ටික ගිලගන්න ගමන් ඔන්න දැන් එට්කා ගිවිසුමත් මාර්තු මාසයේ අත්සන් කරන්න ඉන්දියාව සූදානම් වෙනවා. එට්කා ගිවිසුම අත්සන් කළාට පසුව ඕනෑම ඉන්දියානුවෙකුට රැකියාවකට, වෙළඳාමකට නිදහසේ ශ්‍රී ලංකාවට එන්න පුළුවන්. කුඩාම රැකියාවේ සිට ඉහළම රැකියාව දක්වා වන පුරප්පාඩුවලට ඉන්දියානුවන් එන කොට, පෙට්ටිකඩේ සිට මහා පරිමාණ ව්‍යාපාරය දක්වා පවත්වාගෙන යන්න ඉන්දියානුවන් එනකොට ශ්‍රී ලංකාව ඉන්දියානුවන්ගෙන් පිරෙන එක වළක්වන්න බැහැ. නොදැනුවත්වම අපි මේ රටේ සුළුතර ජනගහනයක් බවට පත්වෙන එක වළක්වන්න බැහැ. එතැන් සිට මොකද වෙන්නේ? එතැන් සිට ශ්‍රී ලාංකික අපිට අපේ ස්වෛරීත්වය අහිමි වෙනවා. ශ්‍රී ලංකාව තුළ තීරණාත්මක බලවේගය බවට ඉන්දියාව පත් වෙනවා. ආර්ථිකමය වශයෙන් හතරගාතයෙන් වැටුණු වෙලාව, රටේ ස්වෛරීභාවය බිල්ලට දෙන වෙලාව බවට පත් කරන එකයි රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ ආණ්ඩුව කරන්නේ. දිනේෂ් ගුණවර්ධනලා, රාජපක්ෂලා අද ‘පහන‘ අල්ලන්නේ ඒ පාපතර මෙහෙයුමට. ජනවරමට කිසිම සම්බන්ධයක් නැති කෙනෙකුට පුටුව දීලා ගෝඨාභය රාජපක්ෂ එදා පැනලා දිව්වා. ගෝඨාභය දාලා යනවා නම් අගමැති ධුරය දිය යුතුව තිබුණේ ජනවරමට සම්බන්ධ මිනිහෙකුට. රනිල් වික්‍රමසිංහ ජනවරමක් තියා පාර්ලිමේන්තු ආවෙත් ජාතික ලැයිස්තුවෙන්.

advertistmentadvertistment
advertistmentadvertistment