ඔබේ කේන්දරයේ රවි සිටින රාශිය අනුව සුබ අසුබ

7513

උපන් කේන්ද්‍රයේ අංක 1 සිට 12 දක්වා පවතින රාශි අනුව එනම් මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යන රාශියක රවි ග්‍රහයා නොහොත් ‘ර’ යන්න ඇත. මෙන්න මේ රවි උදාහරණයක් ලෙස කන්‍යා ලග්න හිමියකුගේ 8 වැන්නේ සිටියි. එනම් කන්‍යාවේත් 8 වැන්න මේෂ රාශියයි. මේ රවි මේෂයේ සිට නැවත මේෂ රාශියට පැමිණීම අවුරුද්දක කාලයක් ගතවෙනවා. එමෙන්ම දෙවනුව බලන්න ඕනේ මෙම රවි ඔබේ කේන්ද්‍රයේ මොන අයුරින් ද සිටින්නේ කියා. රාශි 12ට රවිගේ තත්ත්වය මෙසේය. මේෂයට රවි උච්චයි. වෘෂභයට රවි සතුරුයි. මිථුනයට රවි සමයි, කටකයට රවි මිත්‍රයි සිංහයට රවි ස්වක්ෂේත්‍රයි මූලයි, කන්‍යාවට රවි සම තුලාවට රවි නීචයි. වෘශ්චිකයට රවි මිත්‍ර ධනුවට රවි මිත්‍රයි මකරයට රවි සතුරුයි, කුම්භයට රවි සතුරුයි. මීනයට රවි මිත්‍රයි මේ අයුරින් බලන්න රවි ඔබට කෙසේ බලපාවි ද කියා. මෙම රවි ඉන්න රාශියේ සිට ගෝචර ගමනින් නැවත රවි සිටිය රාශියට පැමිණීමට අවුරුද්දක කාලයක් ගත වෙයි. මෙය ඔබ උපන් මාසයේද? උපන් කේන්ද්‍රයේ රවි සිටින රාශියටම පැමිණීමයි.

මෙම පැමිණීමේදී රවි සිටින තැන තවත් ග්‍රහයෙක් හෝ ග්‍රහයන් කීපදෙනෙක් ඉන්නටත් පුළුවනි. එමෙන්ම, රවිගේ බල දුබලතාවය අනුව රවි දෙන ප්‍රතිඵල බලමු. රවි සුබව සිටීමෙන් ගෞරව නම්බු නාමද උසස්වීම් ද ගරු සැලකිලිද ශරීර සනීපය ද, උසස් වීම්ද, පියාට ගරු නම්බුනාමද, ස්වාමියාට ඔබේ පළමු පිරිමි දරුවාට මේ අයට විශේෂ සැලකිලිද, ඥානය දියුණු වීමද, මුදල් අතින් වාසිදායක තත්ත්වයන්ද උදාකරයි. නමුත් රවි පාප දෘෂ්ට, පාප සංයෝග, රාශියට දුර්වලව හෝ දුර්වල දෘෂ්ටිගතව හෝ සිටී නම් ඉහත කී කරුණු හීන කරයි. එනම් එම රාශියට අදාළ කරුණු හීන කරයි. ශරීර සනීපය දුර්වල කරයි. පියාට, තම ස්වාමියාට, දරුවාට, අශුභ ඵල ගෙන දෙන්නටත් හේතුවක් විය හැක. (ඔවුන්ගේ කේන්ද්‍රයේ රවි බලවත් නම් අපල අඩුවෙයි)

රවි පාප දෘෂ්ටි හෝ සංයෝගයෙන් මිශ්‍ර වූ විට සම පල ගෙන දෙන්නටත් රවිට හැකියාව ඇත.

මුලින්ම බලමු රවි ඔබේ කේන්ද්‍රයේ සිටින තැනට සඳුගේ ගෝචරය සිදු වුවොත් සඳු සහ රවි ශුභ සංයෝග සහිතව සිටියොත් මෙය ඉතාම ශුභදායක බවත් ඔබට මෙදින බොහෝ ලාභ ප්‍රයෝජන ලැබීමටත් හේතුවෙයි. විශේෂයෙන් පියාගෙන් සහ තම ස්වාමියාගෙන් ලාභ ලැබෙයි. නමුත් මෙම සංයෝගය අශුභව තිබුණොත්, දුර්වල දෘෂ්ටි තිබුණොත් සිත්තැවුල් යන යන තැන අසමගියත් මතභේදත් ඇති වෙයි. ස්වාමියාගෙන් හිරිහැරද ඇති වීමට පුළුවනි.

රවි සිටි තැනට කුජ ගෝචර ගමනින් පැමිණි විට පෙර සේමයි. හැබැයි රවි සහ කුජ එකට එක්වූ විට තරමක් කරදර සහිත කාලයක් හදිසි අනතුරුවලින් ද තමන් විසින් නොදැන කරගන්නා මෝඩකම් වලින් ද පරිස්සම් විය යුතුයි. විශේෂයෙන් හදිසි කෝපය නිසා ඇතිවන කරදර වලින් ද පරිස්සම් වන්න. කුජ ශුභ සංයෝගව රාශියේ බලවත්ව ගමන් කරන්නේ නම් ඇත්තෙන්ම ඔබට මෙය ශුභ ඵල දෙන යෝගයක් බවත් ඔබව යම් තරමකට ඔසවා තබන බවක් කිව යුතුයි. වෙළෙඳ ව්‍යාපාර කරන අයට ශුභදායකයි.

මීළඟට අපි බලමු රවි සිටි තැනට බුධගේ පැමිණීම මෙහිදී බුධ බලවත් වූ විට අධ්‍යාපනය ලබන දරුවන්ගේ කුසලතාවයන් දකින්නට පුළුවනි. එමෙන්ම ඥානය වර්ධනය වෙයි. අලුත් අලුත් දේ සොයා යයි. අන් අයගෙන් සැලකුම් ද ප්‍රශංසාද ලබාගන්නා කාලයකි.

නමුත් යම් හෙයකින් බුධ දුර්වල වූවේ නම් ඉහත කී ශුභ ඵල අනිත් පැත්ත ගසනු ලබයි. නීතියෙන් හෝ අහල පහල අයගෙන් හෝ ඔබට කරදර සිදුවෙයි. ඒ වගේම තමයි ඔබේ වටිනා කියන දේ නැති වෙන්නට පුළුවනි. අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට පාඩු ද, බාධක ද, ප්‍රමාද වීම්ද යෙදේ. මේ කාලයේ ආදරය, විවාහය එක පාරට තීන්දු තීරණ ගෙන නොකළ යුතු කාලයකි. යම් යම් ආකාරයේ ඔබට සුදුසු නැති කතාද බුධ දුර්වල වූ විට අසන්නට ලැබේ.

මීළඟට බලමු රවි සිටි තැනට ගුරුගේ පැමිණීම. මෙහිදී ගුරු බලවත් නම් බොහෝ බලාපොරොත්තු තියාගෙන හොඳ සාර්ථක ගමනක් යෑමට අවශ්‍ය පරිසරය සකස් වෙනවා. තමාගේ ප්‍රදේශයෙන් නැතිනම් වෙනත් ක්‍රමවලින් ගරුනම්බුනාම ලැබෙන කාලයක්. මිල මුදල් ද වෙනදාට වැඩියෙන් අතේ ගැවසෙන කාලයක්. එම නිසා අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමටත් විදේශගත වීමටත් මේ කාලය ඉතාම ශුභදායකය. මෙතෙක් නීතිමය ප්‍රශ්න තිබුණේ නම් එයින් නිදහස් වීමට කටයුතු සැලසේ. අලුතින් නිවාස කටයුතු ආරම්භ කිරීමටත්, ඉඩකඩම් මිලදී ගැනීමටත් මේ කාලය ශුභදායකයි. ශරීර සනීපයද ශුභයි. ආදර සම්බන්ධතා ස්ථිර වෙයි. විවාහ වීමට අපේක්‍ෂාවෙන් සිටින අයගේ විවාහ බන්ධන ඉෂ්ට වෙන කාලයකි. දරුවන් බලාපොරොත්තුවෙන් සිටින අයට වාසනාවන්ත පුත්තු ලැබෙන ප්‍රීතිමත් කාලයක් බව සඳහන් කළ යුතුයි.

රවි සිටින තැනට පැමිණි ගුරු පාප සංයෝග වලින් හෝ රාශියට සතුරු බවක් ගෙන දී හෝ දුර්වල දෘෂ්ටිවලින් පීඩා වී සිටී නම් ඉහත කී ශුභ ඵල ගුරුගෙන් බලාපොරොත්තු විය නොහැක. ගුරු දුර්වල වූ විට විශේෂයෙන්ම සමාජයෙන් සමාජ සේවා වැඩවලින් ඈත් වී සිටිය යුතු කාලයකි. කිසිවිටකත් ණයට ගැනීම හෝ දීම මේ කාලයේ සිදු නොකළ යුතු කාර්යයකි. එමෙන්ම තමා සමග ආශ්‍රය කරන අය ගැනත් තමා වටා සිටින අය ගැනත් කල්පනාකාරී විය යුතුය. පුළුවන් තරම් තමාගේ රැකියාව මේ මාසය තුළ ආරක්‍ෂා කර ගැනීමට උනන්දු වන්න. විශේෂයෙන් මේ කාලයේ රජයෙන් සහ රජයේ නිලධාරීන්ගෙන් ප්‍රවේසම් විය යුතු කාලයකි.

මීළඟට රවි සිටි තැනට සිකුරුගේ පැමිණීම මෙතැනදී සිකුරු බලවත් නම් ආදර සම්බන්ධතාවයන්ද තරුණ දරුවන් යොමුවෙයි. වැඩිහිටියන් තම සැප ලාභද සොයන කාලයකි. විවාහ වූ තරුණ අයට ඔබ දරුවෙක් අපේක්‍ෂාවෙන් සිටී නම් ඒ සිහිනයත් සැබෑ වෙන ලකුණු පෙන්වන කාලයකි. සිත් සැනසීමට කරුණු කාරණා ඇති වෙයි. හොඳ ප්‍රියමනාප ලෙස පිටත් වන්නට අවශ්‍ය දේ මෙන්ම වටාපිටාවත් සැකසෙන කාලයකි. මෙම සිකුරුම පාප සංයෝගව පාප දෘෂ්ටින්ට ලක්ව සිටී නම් ගෙදර පරිසරය ඔබට ශුභඵල ගෙන නොදේ. එමෙන්ම සිතින් මනසින් දුක් විඳින බවක් පෙනේ. තවද ආදර සම්බන්ධතාවය බිඳ වැටෙයි. බොහෝ දුරට දුරදිග නොබලා කරන කටයුතු වලදී ඔබ අසාර්ථකයි. මේ කාලයේ සුළුවෙන් හෝ නින්දා අපහාස විඳින්නට සිදුවෙයි. ඒ නිසා පුළුවන් තරම් තමාගේ චරිතය ආරක්‍ෂා කරගෙන ජීවත් විය යුතු කාලයකි. පියා ගැනත් සැලකිලිමත් වන්න. ස්වාමියා ගැනත් සැලකිලිමත් විය යුතු කාලයකි. දරුවන්ගේ අකීකරුකම් ද මතු වෙයි. පරිස්සම් වන්න.

රවි සිටි තැනට ශනිගේ පැමිණීම

මෙතැන දී රවි සහ ශනි අතර ඇතිවෙන සංයෝය ශුභ නම් ලැබෙන ග්‍රහ දෘෂ්ටි ශුභ නම් ඔබට මේ කාලයේ මහලු අයගෙන් උදව් උපකාර ලබාගත හැකි කාලයකි. ඒ වගේම සමහර අය ඔබේ සේවයට වටිනාකමක් ගෙන දෙන කාලයකි. මේ කාලයේ දෙවිදියකින් ලාභ ප්‍රයෝජන ලබාගත හැකි අතර ඉවසීමෙන් බොහෝ දුර ගමනක් යෑමට අවස්ථාව උදාකර ගැනීමට ද හැකියාව ලැබෙයි. සමහර විට මේ කාලයේ අන්තිම කැමති පත්‍රය ලිවීමට ද පුළුවනි. පුළුවන් තරම් පිං දහම් කිරීමෙන් බොහෝ මිල ලබාගත හැක. පුන්‍යභූමිවලට යෑමටත් එයින් පිහිටක් ලබා ගැනීමටත් අවස්ථාව උදාවෙයි. පෙර පිං මතුකර ගැනීමටත් හොඳම අවස්ථාවකි. වාසනාවන්ත කාලයකි. රවි සිටි තැනට පැමිණි ශනි දුර්වලනම් ඉහත කී කරුණ එසේ සිදුවෙන අතර නිතරම සිත්තැවුල් ඇතිවෙන කාලයකි. තමා ඉන්නා තැන හෝ තමා සේවය කරන තැන ගැටලු ඇති වෙයි. දිගින් දිගට යන ප්‍රශ්න නැතත් නින්දාවක් නැතිනම් තමාගේ වැඩක් නිසා බැනුම් අහන්නට කරුණු ඇතිවේ. විශේෂයෙන් ස්ත්‍රින්ගෙන් ප්‍රවේශම් විය යුතු කාලයකි. පියාට හෝ ස්වාමිපුරුෂයාට ද අපල සහගත කාලයකි. ඔබ මිලදී ගන්නා දේ කිසිම වටිනාකමක් හෝ රැවටිල්ලක් සිදුවී ඇති බවක් හැඟේ. කෙසේ හෝ කරදර සහිත කාලයක් නිසා ප්‍රවේශමෙන් වැඩකටයුතු වල යෙදෙන්න.

රවි සිටි තැනට රාහුගේ පැමිණීම ශුභ දෘෂ්ටිගතව ශුභ සංයෝග සිටී නම් උස් අයගෙන් ද වැඩිහිටියන්ගෙන්ද උදව් උපකාර ලැබේ. රැකීරක්‍ෂා කටයුතු ඇතිවෙයි. තිබෙන අයට එම ස්ථානය ශුභ වෙයි. පරිසරය වෙනස් වෙයි. ඔබ ඉගෙන ගන්නා දරුවෙක් නම් ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. ඒවගේ පුළුවන් තරම් තමාගේ කටයුතු සාර්ථක කරගැනීමට උනන්දු වන්න. විදේශ ගමන් බිමන් මෙන්ම විවාහ කටයුතුවලටත් මේ කාලය ශුභදායකය. මෙම රාහු දුර්වලව සිටින විට ඉහත කී කරුණ කාරණාවල වෙනසක් ඇති වෙයි. එම නිසා ඒ කාලයේ තමන්ගේ රැකියාවන් පරිස්සම් කර ගැනීමටත්, ඕනෑවට වඩා මිනිසුන් විශ්වාස නොකිරීමටත්, සතුරන්ගෙන් ප්‍රවේශම් වීමටත් වගබලා ගත යුතු මාසයකි. තම ශක්තිය, බලය බිඳ වැටෙන කාලයකි. තැන් තැන්වල ඇවිද්දවයි. නින්දාවන් ඇතිවෙයි. බොරු චෝදනාවන් ඇති වෙයි. කෙසේ හෝ පරිස්සම් විය යුතු කාලයකි.

රවි සිටි තැනට කේතුගේ පැමිණීම ශුභ සංයෝග ශුභ දෘෂ්ටි ඇත්නම් කරදර නැත. ගෙවල් ඉඩම් පිළිබඳව සිතන්නට කාලයයි. අලුතින් නිවාස ගොඩනැඟීමටත්, ඉඩම් මිලදී ගැනීමටත් හොඳම කාලයයි. ඉගෙන ගන්නා දරුවන්ගේ ඥානය පහල වෙයි. ප්‍රසිද්ධියට පත්වෙයි. උසස් අයගෙන් ගරු නම්බු නාම ලැබෙන කාලයකි. හදි හූනියම් වලින් නිදහස් වෙයි. නැතිනම් හදි හූනියම් ඔබට වදින්නේ නැති කාලයකි. බොහෝ දෝෂ දුරුවෙයි. නමුත් මෙය දුර්වල නම් ඔබට ඇත්තෙන්ම තැනින් තැන ඇවිදින්නට සිදුවෙයි. තම තත්ත්වය පහල වැටෙයි. පහත් අයගේ ආශ්‍රය ඇතිවෙයි. අසනීප වැළදෙයි. දඬුවම් පවා ලැබෙන කාලයකි. පරිස්සමින් ජීවත් විය යුතු කාලයකි.

ඔබේ කේන්දරයේ රවි සිටින රාශිය අනුව සුබ අසුබ

නාඩි ජ්‍යොතිෂවේදී
ඉටුමිණ මංගල ආයතනයේ අධිපතිනි
ඉවෝන් දිසානායක
0715723434 – 0777901702

advertistmentadvertistment
advertistmentadvertistment