ඔස්ට්‍රේලියාවට පනින්න තේජාන් පැහැර ගැනීම – 3ක් මැරූ 7ක් ගස්

656

අපිව මරන්න එපා කියා හඬා වැටෙද්දීත් මරා දාලා

ශ්‍රී ලංකා දේශීය ජල තීරය තුළ ධීවර වෘත්තියේ යෙදී සිටි ධීවරයන් තිදෙනකු මරා තවත් කිහිපදෙනකුට බරපතළ තුවාල සිදු කර ඔවුන් සිටි තේජාන් නමැති ධීවර යාත්‍රාව පැහැරගෙන අනවසරයෙන් ඔස්ටේ්‍රලියාවට පලා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවේ විත්තිකරුවන් වූ ශ්‍රී ලංකා ධීවරයන් හත්දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (24 දා) මරණීය දණ්ඩනය නියම කළේය.

එයට අමතරව එම විත්තිකරුවන් හත්දෙනාට වසර 29 බැගින් වූ බරපතළ වැඩසහිත සිරදඬුවම් හා ලක්ෂ 20ක් බැගින් වූ දඩයක් ද තවත් රුපියල් 8500 ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා එම දඩ නොගෙවන්නේ නම් වසර හතරයි මාස හතර බැගින් ලිහිල් සිරදඬුවම් ලබාදීමට ද නියෝග කළේය. එම නඩුවේ 10 වන විත්තිකාරිය වනිතාබදුගේ ටෙල්සි කල්‍යාණි සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමටත් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නියම කළ විනිසුරුවරයා මරණ දඬුවම නියම කළ විත්තිකරුවන් හත්දෙනා ඔවුනට එරෙහිව එල්ල වී තිබූ චෝදනා පහකින් නිදොස් කොට නිදහස් කිරීමට ද නියෝග කළේය. පැමිණිල්ල විසින් එම විත්තිකරුවන් ඇතුළු විත්තිකරුවන් 11 දෙනකුට එරෙහිව අධිචෝදනා 14 ක් යටතේ නඩු පවරා තිබූ අතර විත්තිකරුවන් තිදෙනකු නොමැතිව නඩු විභාගය පැවැත්විණි. එකී අධිචෝදනා පත්‍රයේ සඳහන් අධිචෝදනා නවයක්ම පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට තීරණය කළ අවස්ථාවේදී විත්තිකරුවන් සිදු කර ඇති වැරදිවල බරපතළකම සලකා නීතිය අනුව ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 2012.10.15 වැනිදා හෝ ඊට පෙරදින රාත්‍රියේ බෝට්ටුවක් උපයෝගි කර ගනිමින් තේජාන් නමැති ධීවර යාත්‍රාව අසලට ළඟා වී තිබූ විත්තිකරුවන් එම ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් කපා කොටා මරා දමා තවත් කිහිපදෙනකුට බරපතළ තුවාල සිදුකර තිබුණි. ඔවුන් එල්ල කළ පිහිපහරවල්වලින් තුවාල ලැබූ ධීවරයන් දෙදෙනකු මුහුදට පැන ගොඩබිමට පීනා එම සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබිණි.

එලෙස තේජාන් ධීවර යාත්‍රාව පැහැරගත් විත්තිකරුවන් අනවසරයෙන් ඔස්ට්‍රේලියාවට පලා ගොස් සිටිය දී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන මෙරටට යළි පිටුවහල් කිරීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට පත්ව තිබිණි. පැමිණිල්ලේ පළමු හා දෙවන සාක්ෂිකරුවන් ලෙස නම් කොට තිබූ බරපතළ තුවාල ලබා ජීවිත ගලවාගත් ධීවරයන් දෙදෙනා ලබාදුන් සාක්ෂි අනුව විත්තිකරුවන් එකී අපරාධ සඳහා සම්බන්ධ වී ඇති බවට තහවුරු වන්නේ යැයි ද විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන්නේය. තමන් මරා නොදමන ලෙසට ඝාතනයට ලක්වූ ධීවරයන් හඬා වැටෙමින් සිටියදීත් විත්තිකරුවන් එම අපරාධය සිදු කර ඇති බවත් තමන් එම අවස්ථාවේදී එකී තේජාන් ධීවර යාත්‍රාවේ නොසිටි බවට විත්තිකරුවන් කිහිපදෙනකු ප්‍රකාශ කර ඇතත් නඩුවේ හරයට බලපාන කිසිදු විරෝධතාවක් විත්තිය අධිකරණය හමුවේ සලකුණු කර නොමැති බවත් විනිසුරුවරයා සිය තීන්දුව මගින් පෙන්වා දුන්නේය.

එකී අපරාධවලට 10 වන විත්තිකාරිය සම්බන්ධ වී ඇති බවට සාක්ෂි ඉදිරිපත් වී නැති බවත් එක් විත්තිකරුවකු වන ඇගේ සැමියාගේ බලකිරීම මත ඇය සිය දරුවන් තිදෙනා සමග එම යාත්‍රාවට ගොස් ඇති බවටත් එම විත්තිකාරිය ලබාදුන් ප්‍රකාශ අනුව පැහැදිලි වන්නේ යැයි ද විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සිය තීන්දුව මගින් පෙන්වා දුන්නේය.

සිය සේවාදායකයන්ට එරෙහිව පෙර වැරදි හෝ පවතින නඩු නොමැති බැවින් හා ඔවුන් දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බැවින් ලිහිල් දඬුවම් නියම කරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉනෝකා පෙරේරා මහත්මිය, අසිත විපුලනායක මහතා ඇතුළු නීතිඥ මණ්ඩලය අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment