කතරගම කඩවර දේවාලයේ කපු මහතාගෙන් ලක්ෂ 3 ක් කොල්ල කාලා

295

මූණු වහගෙන කළු ඇඳගෙන අවි අමෝරා තිදෙනෙක් මහ පාර හරස් කරති

කතරගම කඩවර දේවාලයේ කපු මහතා සිය දේවාලයේ රාජකාරි තේවා මාසය අවසන් වී යන අතරමග දී මංකොල්ලකරුවන් පිරිසක් විසින් ඔහුගෙන් මුදල් පැහැර ගෙන තිබේ.

කඩුවක් හා අවියක් වැනි යමක් පෙන්වා අංක යූ.පී.වයි.ඊ 4226 දරන ත්‍රිරෝද රථය හා මුදල් රුපියල් ලක්ෂ තුන හමාරක් මෙසේ මංකොල්ලකා තිබේ.

නිමල් රංජිත් යන රියැදුරු විසින් ත්‍රීරෝද රථය කතරගම දෙස සිට බුත්තල දෙසට ධාවනය කරමින් තිබියදී ඊයේ (30) දහවල් 01ට පමණ කතරගම බුත්තල මාර්ගයේ විදුලිවැට හා ගල්ගේ මුරපළ අතර ප්‍රදේශයේදී මාර්ගය හරස් කර කඩුවක් හා අවියක් පෙන්වා කොල්ලකරුවන් මෙසේ මුදල් හා ත්‍රිරෝද රථය මංකොල්ල කා තිබේ.

ත්‍රිරෝද රථයේ පිටුපස කඩවර දේවාලයේ කපු මහතකු වන බැද්දෙගංගොඩ කරවිලේ බඩල්කුඹුර ලිපිනයේ පදිංචි හේවා තොන්ඩිලගේ රසික නයනජිත් යන අය ගමන් කර ඇත.

එසේ ගමන් කරමින් සිටියදී කතරගම විදුලිවැට මාර්ග බාධකයේ සිට කිලෝමීටර් තුනක් පමණ බුත්තල දෙසට වන්නට ගමන් කරමින් සිටියදී එකවර මාර්ගයෙහි වම්පස සිටි කළු පැහැති ඇඳුම් ඇඳගත් මුහුණු ආවරණය කරගෙන සිටි පුද්ගලයින් තිදෙනකු පාරට පැන කඩුවක් හා තුවක්කුවක් වැනි යමක් පෙන්වා රියදුරු හා එහි ගමන්ගත් කපු මහතා බිමට ඇද දමා ත්‍රීවිල් රථය කොල්ලකා රැගෙන ගොස් ඇත.

පසුව කතරගම පොලිස් ස්ථානයේ නිලධාරීන් සමග ගොස් විමර්ශනය කරමින් සිටියදී කොල්ලකා රැගෙන යන ලද ත්‍රිරෝද රථය කිලෝ මීටරයක් පමණ දුරින් මාර්ගය දකුණු පස කැලය ඇතුළට වන්නට දමාගොස් තිබියදී සොයාගෙන ඇත. ත්‍රීරෝද රථයේ ගමන් ගත් ඉහත නම සඳහන් කපු මහතා තමා බෑගයක දමා රැගෙන යන ලද රුපියල් ලක්ෂ තුන හමාරක පමණ මුදලක් තිබූ බව ප්‍රකාශ කරයි.

කොල්ල කා මග දමා ගිය ත්‍රිරෝද රථය පොලිස් ස්ථානය වෙත රැගෙන විත් ඇති අතර මේ වන තෙක් සැකකරුවන් අනාවරණය වී නැත. වැඩිදුර විමර්ශන කතරගම පොලිස් ස්ථානය මගින් සිදු කරගෙන යනු ලබයි.

කතරගම කේ. ඩී. දේවප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment