විජේ දේවරකොන්ඩා එක්ක තෙළිඟු චිත්‍රපටයක රඟපෑවා
මම ගුරුවරියක්

ඉරගිනි මද්දහනේ චූටි එහෙමත් නැතිනම් සුරංගි මේ දවස්වල හරි ජනප්‍රිය චරිතයක්. ඇත්තටම කවුද මේ චූටි. ඇය නමින් ලෝචනා ඉසුරින්දි. ඉතිං මෙවර මීවිතෙන් අපි ඇයට ඉඩක් වෙන්කළා.

කවුද මේ ඉරගිනි මද්දහනේ චූටි - ලෝචනා ඉසුරින්දි

ලෝචනා ඉසුරින්දි මේ දිනවල ඉරගිනි මද්දහන නිසා හරි ජනප්‍රියයි. කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම ඉරගිනි මද්දහනට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ දවස්වල හැමෝම වගේ පාරෙදි දැක්කත් ලෝචනා කියලා නෙමෙයි කතාබහ කරන්නේ චූටි කියලා. ඉරගිනි මද්දහනේ චූටි නැතිනම් සුරංගිගේ චරිතය හරහා මට ගොඩාක් මිනිස්සු අතරට යන්න පුළුවන් වුණා කියලා හිතනවා.

චූටි නැතිනම් සුරංගිගේ චරිතය ඔබට ලැබුණේ කොහොමද?

2022 වසරේදී තමයි මට චූටිගේ චරිතය කරමු කියලා මුලින්ම සුදත් අයියා කතා කළේ. පස්සේ අම්මා කිව්වා චරිතය භාරගන්න මම උදව් කරන්නම් කියලා. රූගත කිරීම් සිදුකළෙ මහව ප්‍රදේශයේ.

චූටිගේ චරිතය වෙනුවෙන් මොනවගේ මහන්සියක්ද වුණේ?

මම හිතන්නේ ටෙලිනාට්‍යයක මම කැපකිරීම් කළානම් වැඩියෙන්ම කැපකිරීම් සිදුකළේ චූටිගේ චරිතයට තමයි. මොකද මගේ ගම කලවාන. එහේ ඉඳලා තමයි මහවට රූගත කිරීම්වලට යන්න ඕනෑ. අනික මම වෘත්තියෙන් ගුරුවරියක්. පැය නවයක් දහයකට වඩා වෙලාව යනව මහවට යන්නම විතරක්. ඉස්කෝලේ උගන්වලා අවසන්වෙලා ඇවිත් කොටුවෙන් මහව නයිට්මේල් එකේ තමයි යන්නත් ඕනෑ. පාන්දර පහවෙනකොට ෂූටින් ඉන්නත් ඕනෑ. ලොකු කටුකත්වයක් එක්ක තමයි චූටිගේ චරිතයට ජීවය දුන්නේ. මට මතකයි එකපාරක් ෂූටින් යනකොට ගංවතුරට මතුගමට යනකම් ගොඩක් තැන් යටවෙලා. පාරුවලින් ගිහිල්ලා බස්වලින් ගිහිල්ලා කොටුවෙන් මහව නයිට්මේල් එක අල්ලගන්නත් ඕනෑ. ඒ කාලේ තෙලුත් නෑ. අන්තිමේ ඒක සාමාන්‍ය දෙයක් බවට පත්වුණා.

කවුද මේ ඉරගිනි මද්දහනේ චූටි - ලෝචනා ඉසුරින්දි

අධ්‍යක්ෂ ලලිත් රෝහණගෙන් ලැබුණ ප්‍රතිචාර?

ලලිත් අයියා කියන්නේ මට වෙලාවකට තාත්තා කෙනෙක් වගේ. තවත් වෙලාවකට සහෝදරයෙක් වගෙයි. මගේ ජීවිතයේ මට හම්බවෙච්ච අධ්‍යක්ෂවරුන්ගෙන් මම ගොඩක් ගෞරව කරන අධ්‍යක්ෂවරයෙක් තමයි ලලිත් අයියා. හැම මොහොතේම මට නිදහසේ රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒක හින්දා තමයි මට චූටිගේ චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වුණේ.

කවුද මේ ලෝචනා ඉසුරින්දි කිව්වොත් ?

මම වෘත්තීමය වශයෙන් රජයේ ප්‍රාථමික අධ්‍යාපන ගුරුවරියක්. සේවය කරන්නේ පනහැටගල විද්‍යාලයේ. මාව හැමෝම දන්නේ ලෝචනා ටීචර් කිව්වාම. ඒක දුෂ්කර පාසලක්. ගමේ අයත් එක්කත් ගොඩාක් ආදරෙන් ඉන්නවා. දැන් රටේ අයගෙ ආදරයත් ලැබෙමින් පවතිනවා. ඉස්සර ඉඳන්ම මට මිනිස්සු ආදරෙයි. මම පාසල් ගියේ කලවාන ජාතික පාසලට. විශ්වවිද්‍යාලයට යන්න වරම් ලැබුණත් ගියේ නෑ. මොකද මගේ අක්කත් විද්‍යාපීඨ ගුරුවරියක්. ඉතිං අපේ අම්මාට ඕනෑ වුණා මාවත් ටීචර් කෙනෙක් කරන්න. ඊට පසුව මම මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් ගුරුවරියක් වෙන්න ඉගෙන ගත්තා. දැන් මේ වෙනකොට මම මගේ උපාධිය සම්පූර්ණ කරමින් පවතිනවා. ඒ වගේම ඇකඩමි කිහිපයක ආචාර්යවරියක් විදිහට කටයුතු කරමින් සිටිනවා.

කවුද මේ ඉරගිනි මද්දහනේ චූටි - ලෝචනා ඉසුරින්දි

ඉරගිනි මද්දහන ඔබේ ප්‍රථම රංගනයද?

නැහැ. මම කේෂ්ත්‍රයට ඇවිත් අවුරුදු පහක් විතර වෙනවා. හැබැයි මට ගොඩක් මිනිස්සු අතරට යන්න පුළුවන් වුණේ සහ මාව මිනිස්සු හොයන්න පටන් ගත්තේ ඉරගිනි මද්දහනේ චූටිගේ චරිතය හරහායි. මේ වෙනකොට ආයාචනා, බයෝ, සිහින ගෙනෙන කුමාරියේ, දියණි, අකුරට යන වෙලාවේ, එන්කවුන්ටර් වගේ ටෙලිනාට්‍ය fදාළහක විතර රඟපාලා තියෙනවා.

දැනට පදිංචිය එහෙම?

අදටත් පදිංචියේ එහෙම වෙනසක් නැහැ. තවමත් මම පදිංචිවෙලා ඉන්නේ කලවානේ.

රඟපාන්න අවස්ථාව ලැබුණේ කොහොමද?

2015 වසරේදී මම හේමාස් එකේ අවුරුදු කුමාරිය වුණා. එතකොට මට මුලින්ම හම්බවුණේ වෙළෙඳ දැන්වීමක්. නමුත් මම ඒ කාලේ අධ්‍යාපනයට තමයි මුල්තැන දුන්නේ. ඊට පස්සේ ආයෙමත් මම 2020 වසරේ ඉඳලා නාලිකා කිහිපයක පවත්වපු අවුරුදු කුමාරි තරගවලට සහභාගි වුණා. ඒ හරහා තමයි මට ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබුණේ.

රංගන වැඩවලට ගෙදරින් ලැබුණ සහයෝගය?

ගෙදරින් තමයි මට ලොකු සහයෝගයක් ලැබුණේ. අම්මා, තාත්තා සහ අක්කා මට ලොකු සහයෝගයක් ලබාදුන්නා. අම්මා තමයි වැඩිපුරම මගෙත් එක්ක ෂූටින්වලට පවා එන්නේ.

චූටිගේ චරිතයට සම්මානයක් බලාපොරොත්තුවෙන්ද ඉන්නේ ?

තියෙනවා නම් හොඳයි. මම ආසා සම්මානනීය නිළියක් වෙන්න. මගේ අරමුණත් ඒක තමයි. කවදාහරි දවසක මම එතැනට යනවා. මේක හෙමින් පටන්ගත්තු ගමනක්. මට ජීවිතයේ කිසිම හදිසියක් නැහැ. හැබැයි කවදාහරි දවසක මම මගේ අරමුණට යනවාම තමයි.

චූටිගේ චරිතය හින්දා ඉස්කෝලෙදී ලැබෙන ප්‍රතිචාර?

පනහැටගල ගමේ අයගෙනුත් මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කතාව හැමෝම වගේ බලනවා. කලවානේ ගොඩක් අය මාව දැක්කම කියනවා ඔයා හින්දා අපි කතාව බලනවා කියලා. මම කලවානේ හැමෝම එක්ක හරි යාළුවෙක් වගේ ඉන්නේ. මම ආඩම්බර කෙනෙක් නෙමෙයි. නිළිකම් කියලා එකක් මගේ ඔළුවේ නැහැ. කවුරු හරි මතක් කළොත් විතරක් මට මතක් වෙන්නේ මාත් නිළියක් කියලා. මොකද කිසිම ලොකුකමක් නැහැ. හරි සරල විදිහට ජීවත් වෙන්නේ.

සිනමාවට සම්බන්ධ වෙන්න අදහසක් නැතිද?

මම එක චිත්‍රපටයකට සම්බන්ධ වුණා. ඒක නුදුරේදීම තිරගතවේවි. ඒ වගේම මම තෙළිඟු චිත්‍රපටයකයටත් සම්බන්ධ වුණා. විජේ දේවරකොන්ඩා එක්ක තමයි මම එහි රඟපෑවේ. ඉදිරියේදී ඉන්දියානු සිනමා නිර්මාණ දෙකකට ආරාධනත් ලැබිලා තියෙනවා.

කොහොමද ඒ අවස්ථාව ලැබුණේ ?

මධු අක්කා හරහා තමයි මට ඒ අවස්ථාව ලැබුණේ. ඔවුන් කිව්වෙ මගේ රූපය දමිළ සිනමාවට ගොඩක් කිට්ටුයි කියලා. මට ඇත්තටම තෙළිඟු සිනමාව ගැන ලොකු අවබෝධයක් නැහැ. නමුත් මේක මට ලැබුණ හොඳ අවස්ථාවක්.

මහේෂ් එදිරිසිංහ


advertistmentadvertistment