ආසියානු හොකී සම්මේලන කුසලානය
ආසියානු හොකී සම්මේලනයේ මෙහෙයවීමෙන් ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර දී දැන් ක්‍රියාත්මක ආසියානු හොකී සම්මේලන කුසලාන පිරිමි හොකී තරගාවලියට අවතීර්ණ වෙමින් මුහුණ දුන් පළමු තරගයේදීම පරාජයේ අමිහිර අත්විඳින්නට ශ්‍රී ලංකාවට සිදු විය. ඒ, ප්‍රතිවාදී කසකස්ථානයට එරෙහිව ගෝල් 03 – 02 ක් ලෙස පසුබෑමත් සමගිනි.
තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ගෝල් තත්ත්වය 01 – 01 ක් ලෙස සම මට්ටමක පසු වුවත් තෙවන කාර්තුව තුළ ශ්‍රී ලංකාව ලත් ගෝලයට එරෙහිව ගෝල් 02 ක් රැස්කර ගැනීමට කසකස්තානය සමත් විය.
සිව්වැනි හෙවත් අවසාන කාර්තුවේ දී දෙපිලටම ගෝල් වාර්තා කර ගැනීමට නොහැකි වූ හෙයින් ගෝල් 03 – 02 ක ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට කසකස්තානයට හැකියාව ලැබිණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් උප නායකත්වය හොබවන ධම්මික රණසිංහ 01 සහ සඳරුවන් ප්‍රියලංකා 01 බැගින් ගෝල් වාර්තා කළහ. මෙවර තරගාවලියේ ආරම්භක දිනයේ දී චීන තායිපේ හමුවේ සිංගප්පූරුව ගෝල් 05 – 00 කින්ද තායිලන්තය හමුවේ සත්කාරක ඉන්දුනීසියාව
ගෝල් 02 – 01 කින් ද පරාජය ලැබීය. උස්බෙකිස්තානය සහ හොංකොං දේශය අතර තරගය ගෝල් 02 – 02 ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත්විණි.
මේ අතර වාරයේ දී ඊයේ (18) ඇරඹී කාන්තා තරගාවලියේ පළමු පරාජයේ වේදනාව විඳ ගන්නට ශ්‍රී ලංකාවට සිදු විය. ඒ, හොංකොං දේශය හමුවේ ගෝල් 05 – 00 ක් ලෙස පසු බැසීමත් සමගිනි. තරගයේ ප්‍රථම භාගය අවසන් වන විට ගෝල් තත්ත්වය 02 – 00 කි.
අනුරුද්ධ හේරත් බණ්ඩාර