ක්‍රමවේදය වෙනස් කිරීම නිසා රෝහල් රැසක MRI – CT පරීක්ෂණ කොට උඩ

222

කොළඹ ජාතික රෝහල, මහනුවර, කරාපිටිය ඇතුළු රජයේ රෝහල් රැසක MRI හා CT වාර්තා ලබාදීමේ ක්‍රමවේදය මුළුමනින්ම ඇනහිට ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබඳව ජනාධිපති හා අගමැති දැනුවත් කර ඇතැයි ද පැවසේ. MRI හා CT වාර්තා ලබාදීමේ ක්‍රමවේදය නතරවීම නිසා රෝගීන් විශාල පිරිසකගේ ජීවිත අවදානමේ බව ද එම ආරංචි මාර්ග කීය.

දිනකට ශල්‍යකර්ම සඳහා MRI වාර්තා 50ක් නිකුත් කළ බවත් හදිසි අනතුරු සම්බන්ධයෙන් MRI වාර්තා 100ක් නිකුත් කළ බවත් දිනකට CT වාර්තා 250ක් පමණ සිදුකළ බවත්, එහෙත් අද තත්ත්වයන් හමුවේ මේවා සිදුකිරීම ගැටලුවක් වී ඇති බවත් රෝහල්වලින් වාර්තා වේ.

2018 වසරේ සිට පැවැති PACS මෘදුකාංගය භාවිතයෙන් වාර්තා විශ්ලේෂණය විකිරණ දෙපාර්තමේන්තුවේ විකිරණ විශේෂඥ වෛද්‍යවරුන් විසින් ඉතාමත් හොඳින් පවත්වාගෙන පැවැතියද එක්තරා පිරිසක් මැදිහත්ව පවතින PACS ක්‍රමවේදය වැරදි තොරතුරු මවා දක්වමින් වෙනස් කිරීම නිසා MRI, CT Repoting System එක අද වන විට අකර්මන්‍ය කර ඇත. විෂය ප්‍රවීණ විකිරණ වෛද්‍ය විශේෂඥයන්ගේ උඵදෙස් මායිම් නොකර වැරදි අංක ගණිත තොරතුරු මත බලධාරීන් නොමඟ යැවීමේ උත්සාහයක් පවතින බවද ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම එක්තරා ගිවිසුම් සහගතව එක්තරා ශික්‍ෂණ රෝහලක ස්ථාපිත කර ඇති අසාර්ථක PACS ක්‍රමවේදය ලංකාව පුරා ව්‍යාප්ත කිරීමට යත්න දරන බවද ඔව්හු පෙන්වා දෙති. රෝගී ජීවිත අනතුරේ නොදමා මෙම ගැටලුව කඩිනමින් විසඳීමට මැදිහත් වන ලෙස ද රෝහල් ප්‍රධානීහු රජයෙන් ඉල්ලා සිටිති.

ධර්මසේන වැලිපිටිය


advertistmentadvertistment