කැඳවීමක් නැතිවම පියුමි සීඅයිඩී එයි – ප්‍රකාශයක් නොගෙන හරවා යවයි

196

කුඩු විකුණලා….. කළු සල්ලි සුදු කරලා නෑ
මං සල්ලි හම්බ කළේ දුක් මහන්සියෙන්
– පියුමි මාධ්‍යට කියයි

රුපියල් කෝටි ගණනින් දේපළ ඉපැයූ බවට චෝදනා ලැබ සිටින නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ඊයේ (01දා) කැඳවීමක් කර නොතිබියදී, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට පැමිණ තිබේ.

මේ නිසා ඇයගෙන් ඊයේ කටඋත්තරයක් සටහන් කරගෙන නොමැති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ආරංචි මාර්ග පවසයි.

ඉකුත් සතියේ සඳුදා කටඋත්තරයක් ලබාගැනීම සඳහා පැමිණෙන ලෙස එම විමර්ශන ඒකකය පියුමි හංසමාලිට දැනුම්දී ඇත. එහෙත් තමාගේ අවශ්‍ය ලිපි ලේඛන සකස් කරගෙන නොමැති නිසා පැමිණීමට නොහැකි බවට ඇය සඳහන් කර ඇත. ලිපි ලේඛන සකස් කරගෙන අවසන් වූ පසුව දැනුම් දෙන ලෙසත් පසුව දිනයක් හා වේලාවක් ලබා දෙන බවටත් එම ඒකකය පියුමි හංසමාලිට දැනුම්දී ඇත.

එහෙත් හදිසියේම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමකින් තොරව ඊයේ පෙරවරුවේ පැමිණ ඇති ඇය, ඉක්මනින් මෙම ප්‍රශ්නය අවසන් කර දෙන ලෙස ඉල්ලීමක් කර ඇත. නමුත් තම ඒකකය ඊට සූදානම් වී දිනයක් ලබාදෙන බවටත්, එදින පැමිණ කටඋත්තරයක් ලබා දෙන ලෙසටත් ඇයට එහිදී දැනුම්දී තිබේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් රැසක් එම ස්ථානයේ රැඳී සිට ඇති අතර එහිදී පියුමි හංසමාලි මාධ්‍ය හමුවේ කියා සිටියේ, තමන් ඉතාම සාධාරණව දුක් මහන්සියෙන් මෙම මුදල් සහ වත්කම් උපයාගත් බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේ ද කියා සිටියාය.

මං කුඩු විකුණලාවත් කළු සල්ලි සුදු කරලාවත් සල්ලි සොයලා නැහැ. මගේ නිෂ්පාදනයක් තියෙනවා. මං ඒක විකුණලා තමයි මේ තරම් සල්ලි වත්කම් සොයා ගත්තේ.

අනික මට බැංකු 9ක ගිණුම් 19ක් තියෙනවා කියලා තිබුණා. ඒත් මට තියෙන්නේ බැංකු ගිණුම් 8-9ක් විතරයි. මගේ නිෂ්පාදනවලින් සල්ලි හොයපු ආකාරය පෙන්වන්න මගේ ළඟ බැංකු වාර්තා තියෙනවා යැයි ද පියුමි හංසමාලි මාධ්‍ය හමුවේ කියා සිටියාය.

සමාජ ක්‍රියාකාරිකයකු වන සංජය මහවත්ත විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කෙරිණි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පාවිච්චි කළ අතිසුඛෝපභෝගී ජීප් රථය රුපියල් කෝටි 8කට මිලදී ගැනීම, සුපිරි මහල් නිවාසයක් රුපියල් කෝටි 14කට මිලට ගැනීම ඇතුළු තවත් දේපළ රැසක් ඉපයීම සම්බන්ධයෙන් මෙම චෝදනා එල්ල කර තිබිණි.

පියුමි හංසමාලිගේ සම පැහැපත් කරන ක්‍රීම් නිෂ්පාදනය කරන ආයතනයේ බෙදාහැරීම් කළමනාකරුගෙන් ද, නීති විරෝධී වත්කම් ඉපයීමේ විමර්ශන ඒකකය මීට පෙර ප්‍රශ්න කර තිබිණි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment