(කිලිනොච්චියේ වැලි ජාවාරම)
ශ්‍රී ලංකාවේ උතුරු පළාතට අයත් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ බිම්බෝම්බ ඉවත් කළ ප්‍රදේශවල දැනට පවත්වාගෙන යන වැලි හෑරීමේ ජාවාරමක් නිසා මුළු ප්‍රදේශයම ජලාශ්‍රයක් බවට පත්වීමේ අවදානමක් හටගෙන තිබේ. මේ ගැන සම්පූර්ණ වාර්තාවක් පෙරේදා රාත්‍රියේ දී හිරු රූපවාහිනියේ ප්‍රවෘත්ති සංග්‍රහයේ කොටසක් වශයෙන් පෙන්වන ලදී. මෙය ඉතා බියකරු ජාවාරමකි. මන්දයත් කොටි සංවිධානය සිය බලය පැවැති කාලයේ දී මිරිස් පැළ හිටවන තරමටම බිම්බෝම්බ ප්‍රදේශය පුරා වැළලීය. බිම්බෝම්බ වර්ග කිහිපයක් තිබේ. ඉන් පළමු වැන්න නම් පුද්ගලනාශක බෝම්බ ය. පස් යට ඇති මේ බෝම්බයක් මත පය තැබූ සැණින් එය පුපුරා ගොස් අදාළ පුද්ගලයාගේ පාදය සම්පූර්ණයෙන්ම කැබලි බවට පත් වෙයි. දෙවැනි බෝම්බ වර්ගය වන්නේ යුද්ධ ටැංකි සහ හමුදා වාහන විනාශ කිරීම සඳහා වළලන ලද විශාල ප්‍රමාණයේ බෝම්බ ය. මේ බෝම්බයක් මත මිනිසකු පය තැබූ විට පුපුරන්නේ නැත. එය පිපිරීමට අවශ්‍ය බර මිනිසකුගේ බරට සමාන නොවේ. එහෙත් මේ බිම්බෝම්බයක් මතින් වාහනයක් ගමන් කළ විට බෝම්බය පුපුරා වාහනය ද අඩි දහයක්, පහළොවක් පමණ අහසට විසිවී කැබලි වී යයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රණවිරුවන් දෙදෙනකු වූ ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ විජය විමලරත්න මිය ගියේ ද මෙවැනි බිම්බෝම්බ පිපිරීමක් නිසාය. කෙසේ වුවද මේ දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් විකල්ප ප්‍රවාද රැසක් ද තිබේ. ඉන් ප්‍රමුඛම මතය වන්නේ එවකට පැවැති ආණ්ඩුවේ ප්‍රධානීන් විසින් කාට හෝ කොන්ත්‍රාත් එකක් දී බිම්බෝම්බ සිටුවා ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ විජය විමලරත්න ඝාතනය කළ බවය. මෙහිදී විජය විමලරත්න ඝාතනය කිරීමේ අවශ්‍යතාවක් තිබුණේ නැතත් ඩෙන්සිල් කොබ්බෑකඩුව සමග එක වාහනයේම ගමන් කළ නිසා විමලරත්න ද මළේය. මේ සිද්ධිය වීමට අවුරුද්දකට පමණ පෙර සිටම මේ රටේ එවකට පැවැති බල අධිකාරිය ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ ක්‍රියාකලාපය ගැන කල්පනාවෙන් සිටි බව දැනගන්නට තිබේ. මෙහිදී බල අධිකාරියට පෙනී ගියේ ඩෙන්සිල් කොබ්බෑකඩුව ඊළඟ ඡන්දයේ දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩක් තිබූ සෙයකි. ඒ නිසා ඔවුන් කොබ්බෑකඩුවට ෂොට් එක දුන්නා විය හැකිය. කොබ්බෑකඩුව සහ විමලරත්න ඝාතනය සම්බන්ධයෙන් වගකීම කොටි සංවිධානය විසින් කවදාවත් පිළිගත්තේ නැත. ඇතුලත්මුදලි ඝාතනය සම්බන්ධයෙන් ද ඔවුන් වගකීම භාරගෙන නැත.
අපි දැන් නැවතත් වැලි ජාවාරම දෙසට හැරෙමු. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පලෙයි පොලිස් වසමට අයත් ප්‍රදේශවල මේ වැලි හෑරීම ඉතා විශාල වශයෙන් ක්‍රියාත්මක වන බව දැනගන්නට තිබේ. සමහර විට මේ වෙද්දි වැලි කියුබ් මිලියන භාගයක් පමණ හාරා ඉවත් කරගෙන ගොස් ඇති බව පෙනෙන්නට තිබේ. ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා ඉතා සුදුසු තුනී වැලි මේ පළාත්වල හැම තැනකම ඇත. බිම්බෝම්බ වළලා ඇති ප්‍රදේශ නිසා සිවිල් වැසියෝ සහ ආරක්‍ෂක අංශ මෙම ප්‍රදේශවලට පැමිණීමට මැළිකමක් දක්වති. එයට හේතුව ප්‍රාණ භීතියයි. එක පොලිස් රාලහාමි කෙනකු මැරුණොත් සම්පූර්ණ පවුලක් අනාථය. එක සිවිල් වැසියකු මැරුණොත් සම්පූර්ණ පවුලක් අනාථය. මේ වැලි හාරා ට්‍රැක්ටර්වලට සහ ටිපර්වලට පටවන සාමාන්‍ය සේවකයා ද සිටින්නේ ජීවිත අවදානම කකුල් දෙක යට තබාගෙනය. බිම්බෝම්බ ඉවත් කළා යැයි කීවාට 100% ක්ම ඉවත් කරන්නට ලැබෙන්නේ නැත. හදිසියේවත් ඉවත් නොකරන ලද බිම්බෝම්බයකට සවල් පහරක් වැදුණොත් එය පුපුරා හත් අට දෙනකුම මිය යනවා ඇත. එසේම වැලි ප්‍රවාහනය කරන ටිපරයක් හෝ ට්‍රැක්ටරයක් බිම්බෝම්බයක් උඩින් ගියොත් වහා පිපිරීමක් ඇතිවී ට්‍රැක්ටර් රියැදුරාගේ හෝ ටිපර් රියැදුරාගේ සිරුරුවල කැබලි වැලි සමග මුසුවනවා ඇත. මේ ජාවාරම මෙහෙයවන මුදලාලි ඉන්නේ කොළඹ එපාර්ට්මන්ට් එකකය. නොඑසේ නම් ඔහුගේ බංගලාවේය. එහෙමත් නැත්නම් තරු පහේ හෝටලයක කාමරයකය. පිපිරීමකින් මියයන තම සේවකයන් ගැන ඔහුට වගකීමක් නැත. මන්ද යත් ඔහු මෙන්ම සේවකයන් කරන්නේ ද නීතිවිරෝධී ක්‍රියාවකි. කිඹුලකුගේ කට ඇතුළට අත දමා දතක් ගැලවීමත්, වැලි හෑරීමේ ක්‍රියාවත් අතර ඇත්තේ විශාල සමානකමකි. යම් හෙයකින් කිඹුලා කට වැසුවොත් කට ඇතුළට අත දාන එකාගේ උරහිසෙන්ම කැබැල්ලක් ගැලවී යයි. මෙවැනි නීතිවිරෝධී ක්‍රියා බහුල වශයෙන් දැනට සිදුවේ. රජයේ අවසරය නොලැබ මැණික් ගැරීම එවැනි ක්‍රියාවකි. මෙසේ මැණික් ගරන අය තුවක්කු දෙකකට බිලිවීමට නියමිතය. ඉන් පළමු වන තුවක්කුව තිබෙන්නේ පොලිසිය අතේය. දෙවැනි තුවක්කුව තිබෙන්නේ දැනට මැණික් ගරමින් සිටිනා කණ්ඩායමට ප්‍රතිවිරුද්ධ කණ්ඩායම අතේය. මේ කොයිපැත්තෙන් වෙඩි කෑවත් කටඋත්තර නැත. නූතන ජනවහරේ මෙවැනි විපතක් හඳුන්වන්නේ සොරි ඩොට්කොම් ලෙස ය. පලෙයි පොලිස් වසමේ පොලිසිය කියන්නේ වැලි ජාවාරම්කරුවන් මැඬීම සඳහා ප්‍රමාණවත් තරම් ශක්තියක් තමන්ට නැති බවයි. එයින් හැඟෙන්නේ පලෙයි පොලිසියට රාලහාමිලා අඩු ප්‍රමාණයක් සිටින බවය. එසේම පලෙයි පොලිසියේ ඇතැම් නිලධාරීන් කියන පරිදි වැලි ජාවාරම සිදු කරන ස්ථානය සහ පොලිසිය අතර කිලෝ මීටර් පනහක් වැනි දුරක් තිබේ. වැලි ජාවාරම වැටලීම සඳහා පොලිස් නිලධාරීන් ජීප් එකට නගින විටම ඒ ඔත්තුව වැලි ජාවාරම්කාරයන්ට යයි. පොලිසිය කිලෝ මීටර් පනහක් ගෙවාගෙන අදාළ තැනට එන විට වැලි ටිපර් හත අටක්ම එතැනින් නික්මී ගොස් හමාරය. ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව සතුව අසූඅට දහසක පමණ පිරිසක් සිටිති. එහෙත් මෙය ප්‍රමාණවත් නොවේ. ආණ්ඩුව ද ඒ බව පිළිගෙන ඇත. ඒ නිසා හැකි ඉක්මනින් පොලිස් රාලහාමිලා තවත් හාරදහසක්වත් පොලිසියට බඳවාගත යුතුය. ඊට අමතරව පොලිසිය තුළ සිටම පිටස්තර පාර්ශ්වවලට ඔත්තු සපයන නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට සුදුසු දඬුවම් ලබාදිය යුතුය.