26 තෙක් රිමාන්ඩ්
කිරිබත්ගොඩ නගරයේ රජයට පවරා ගෙන තිබූ ඉඩමකට කූට ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයමින් සිටි කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා නමැත්තා ඊයේ (20 වැනිදා) පස්වරුවේ මහර මහෙස්ත්‍රාත් අධිකරණයට භාර විය.
නීතිඥ දේශාල් පෝල් මහතාගේ මාර්ගයෙන් මෝසමක් මගින් ඉදිරිපත් වූ මොහු මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර අංක 01 අධිකරණයේ මහෙස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය නියම කළාය. මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කියා සිටියේය.
“මේ සැකකරු අසනීපයෙන් පසුවෙනවා. ඔහු අධිරුධිර පීඩනය හා දියවැඩියා වැනි අසනීපවලට ප්‍රතිකාර ලබනවා. ඒ නිසා ඔහු සුදුසු ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා සිටිනවා. ඔහු බන්ධනාගාරගත කළහොත් ඔහුට අවශ්‍ය ප්‍රතිකාර බන්ධනාගාරයෙන් ලබා ගැනීමට අවශ්‍ය වන පහසුකම් සලසන ලෙසට ද ඉල්ලා සිටිනවා.”
එහිදී ඉදිරිපත් වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරු මේ නඩුවේ හයවන සැකකරු ලෙස නම් කරන බවත් ඇප ලබා දීම සඳහා අසාමාන්‍ය සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවූ බවත් ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස බන්ධනාගාරයේ වෛද්‍යවරයාට දන්වන බවත් සඳහන් කරමින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළාය.
සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න හා නීතිඥ දේශාල් පෝල් යන මහත්වරු පෙනී සිටියහ. මේ වනවිට මේ නඩුවට අදාළව හිටපු ඇමැති මර්වින් සිල්වා, හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල්, හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් හා නවීන් වීරකෝන් යන පස්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති.
දෙල්ගොඩ ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම සුදත් පුබුදු කීර්ති