මාලිමාව බලයට ඒම වළක්වන්න අපරාධකාරයො එකතු වෙනවා

131

ජාජබ නායක අනුර කුමාර දිසානායක බලපිටියේදී කියයි
රනිල් වික්‍රමසිංහ රාජපක්‍ෂලාගේ ජනාධිපති වෙයි කියලා කවුද හිතුවෙ?

මේ රට ගොඩනැඟීම සඳහා අදාළ ක්‍රියාමාර්ග ගත හැකි වන්නේ ජාතික ජන බලවේගයට බලය ලබා ගැනීමෙන් පමණයි. ජාතික ජන බලවේගය මේ ක්‍රියා කරමින් ඉන්නේ රට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය ජනතා බලය නිර්මාණය කරගැනීම යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු මේ බව පැවසූවේ ඉකුත් (27)දා ජාතික ජන බලවේගයේ බලපිටිය ආසන සමුළුවේදීය. වැඩිදුරටත් අදහස් දක්වමින් දිසානායක මහතා මෙසේද පැවසීය.

මේ රට විනාශයට පත් කළ පාලක කණ්ඩායම් පලවාහැරීමේ සන්ධිස්ථානයක් බවට මාර්තු නවය මැතිවරණය පත් කරගන්න සූදානමින් හිටියා. ඒගොල්ලන්ගේ අතින් බලය තම තමන් අතර මාරු කර ගන්න රනිල්ලා, රාජපක්‍ෂලා, සජිත්ලා අවසානය දක්වා උත්සාහ කරනවා. ඒ අයගෙන් පොදුජන ව්‍යාපාරයක් අතට බලය මාරු වෙන්න එහෙම ලේසියෙන් ඉඩ දෙන්නේ නැහැ. බලය මාරු කර ගන්නවා විතරක් නොවෙයි, පාර්ලිමේන්තුවට එන්න බැරි වුණු රනිල් වික්‍රමසිංහ නැවත ගෙන්වා ගෙන ජනාධිපතිකමත් ලබා දෙනවා. රනිල් වික්‍රමසිංහ රාජපක්‍ෂලාගේ කඳවුරේ ජනාධිපති වෙයි කියලා කවුරුහරි හිතුවාද? ඒ ගොල්ලන්ගේ බලය ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් ජනතාව නොසිතන දේවල් කරනවා. ඔවුන්ගේ අපරාධවලට එරෙහිව ඉන්න පොදු ජනතාවගේ පැත්තේ ඉන්න මාලිමාව අතට බලය එන එක වළක්වන්න ඒ ගොල්ලෝ එකතු වෙනවා. තවම එකතු නොවුණු පිරිසකුත් ඉන්නවා. ඔවුන් එකතු වන්නේ මේරටේ පොදු ජනතාවට විරුද්ධව.

ජුනි මාසයේ නව වැනිදාට මැතිවරණය නොපවත්වා මාස තුනක් සම්පූර්ණ වෙනවා. ඡන්දය ලබාගැනීම සඳහා ජාතික ජන බලවේගය ජුනි මාසයේ අට වැනිදා යළි අරගලය දියත් කරනවා. තරග වදින අපේක්‍ෂක, අපේක්‍ෂිකාවන් ජුනි මාසයේ අට වැනිදා මැතිවරණ කොමිසම ඉදිරියට යනවා. ඊට පස්සේ හම්බන්තොට, අනුරාධපුරයේ, ගම්පහ උද්ඝෝෂණ පවත්වා අන්තිමට කොළඹ වට කරන මහා ජන සටනට අපි ලෑස්තියි. රටකටත්, ඒ රටේ ජීවත්වන ජනතාවටත් සිදුවිය හැකි සියලු‍ම විනාශයන් මේ පාලකයන් අත්පත් කරදී ඉවරයි. පසුගියදා නිකුත් වුණු මහ බැංකු වාර්තාවේ සඳහන් වෙන්නේ ජනගහනයෙන් සියයට හැටඅටක් ආහාර ප්‍රමාණය අඩුකර, වේල් ප්‍රමාණය අඩුකර හෝ රුචි නොවන ආහාර ලබාගෙන නිරාහාරව ඉන්න සිදුවී ඇති බවයි. රෝගී ජනගහනයෙන් සියයට හතළිහක් ඖෂධ ගැනීම නතර කර ඇති බවත්, තවත් සියයට හතළිහක් අධ්‍යාපන වියදම් කපාහැර ඇති බවත් ඒ වාර්තාවේ සඳහන් වෙනවා. සියලු‍ ආදායම් මාර්ග කඩාවැටී රෝගීන්ට බෙහෙත් නැති, දරුවන්ට අධ්‍යාපනය නැති, ජනතාවට ආහාර නැති තත්ත්වයක් මේ පාලකයන් උදාකරදී තිබෙනවා. විධිමත්ව රැකියා කරමින් සිටි ලක්‍ෂ පහකට වැඩි පිරිසකට

රැකියා අහිමි වෙලා. අවිධිමත් පෞද්ගලික අංශයේ රැකියා අහිමි වූ ප්‍රමාණය ගණන් බලන්නත් බැහැ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන් ඇතුළු වෘත්තිකයන්, රටේ දැනුම තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන කල්පනා කර රට අත්හැර යනවා. තවත් කණ්ඩායමක් රට අත්හැර කුමන හෝ රැකියාවක් සඳහා විදේශගත වෙනවා. නුපුහුණු කම්කරුවන් එක්ලක්‍ෂ හාරදහසක් ගිය අවුරුද්දේ විදේශගත වී තිබෙනවා.

මේ රට ගොඩනැඟීම සඳහා අදාළ ක්‍රියාමාර්ග ගත හැකි වන්නේ ජාතික ජන බලවේගයට බලය ලබා ගැනීමෙන් පමණයි. ජාතික ජන බලවේගය මේ ක්‍රියා කරමින් ඉන්නේ රට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය ජනතා බලය නිර්මාණය කර ගන්නයි. අනුහස් සහිත නායිකාවක් හැටියට චන්ද්‍රිකා ආවා. ඊට පස්සේ මහින්ද රාජපක්‍ෂ ගෙනාවා. දැන් පොහොට්ටුවේ නායකයා කවුද? පොහොට්ටුවට මහින්ද කියන්නේ තවදුරටත් නායකයෙක් නොවෙයි. පසුගිය මැයි දිනයේදී බැසිල් රාජපක්‍ෂ නායකයා වෙන්න ආවා. දැන් පොහොට්ටුව කියන්නේ පොල් මලක් පොළොවේ ගැහුවා වාගේ විසිරී ගිය පිරිසක්. රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ජනාධිපති හැටියට හැමදේම විකුණාගෙන යනවා. තෙල් සංස්ථාවට අයත් පෙට්‍රල් ෂෙඩ් එකසියපනහක් විසිපස් වැනිදා චීන

සමාගමකට වික්කා. ලංකාවේ ඩොලර් නොගෙන අවුරුද්දක් යන තුරු තෙල් ගෙනැවිත් බෙදාහැරීමේ කොන්දේසිය මත පමණයි මේ පෙට්‍රල් ෂෙඩ් ටික විකුණුවේ. කිසිදු මුදලක් ලැබුණේ නැහැ. අවුරුද්දක් යන්න කලින් ජනාධිපතිවරණය තියන්න සැලැසුම් කර තිබෙනවා. හම්බන්තොට වරාය විකුණන කොට පාරට ඇවිත් කෑගැහැව්ව රාජපක්‍ෂලාත්, පොහොට්ටුවට ඡන්දය දුන් ඡන්දදායකයාත් දැන් මොකද කියන්නේ?

පොහොට්ටුවේ සාමාජිකයා මේ විකිණීම අනුමත කරන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ ඡන්දය පැත්තක තියන්න හැම දහංගැටයක්ම ගහලා මේ ගමන ගියත්, ලබන අවුරුද්දේ ජනාධිපතිවරණයක් පවත්වන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහට භූමියේ බලයක් නැතිව මාධ්‍යවලින් සංදර්ශන ආර්ථිකයක් හදනවා. අනූතුනේ පළාත් සභාවට ආව චන්ද්‍රිකා අනූහතරේදී ජනාධිපතිනිය වුණා. හැත්තෑහතේදී පාර්ලිමේන්තුවට ආව රනිල් වික්‍රමසිංහ අවුරුදු හතළිස්පහක් හිටියත්, ජනාධිපති පුටුවේ වාඩි වෙන්න බැරි වුණා. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් ජනාධිපති වෙලා නිදහස් උත්සවය, අවුරුදු උත්සවය, වෙසක්, පොසොන් උත්සව සමරන අතර, පාර්ලිමේන්තුවේ සභා වාරය අවසන් කර මූලාසන කතාත් කරනවා. දැන් අගෝස්තු මාසයේදී ටැටූ කියලා හමුදා සංදර්ශනයකුත් තියන්න යනවා. රනිල් ඒ හමුදා සංදර්ශනයේ ගුවන් කරණම් ගහන්න යන කොට රටේ ජනතාවට කන්න නැහැ. ජනතාව මේ සංදර්ශනවලින් අමන්දානන්දයට පත් කර බලයට එන්න එයා හිතනවා.

රත්තරන් හොරෙන් ගේන මන්ත්‍රී දඩ ගහලා පාර්ලිමේන්තු එන කොට පොල්ගෙඩි විස්සක් හොරකම් කළ කෙනා හිරේට යවන වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක වෙන නීතියක් දැන් තියෙන්නේ. බැසිල් රාජපක්‍ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු වාගේ අය එළියට එන්නේ අධිකරණයෙන් නිදහස් වෙලා නොවෙයි. නඩුව ගොනු කර තිබුණු ආකාරය වැරැදි නිසයි. එක්කෝ අත්සන නැහැ. නැත්නම්, ගහන්න ඕනෑ තැන අත්සන ගහලා නැහැ. අල්ලස් කොමිසමෙන් පැවරූ නඩුවල කොමසාරිස්වරු අත්සන් කර තිබුණේ නැහැ. අධිකරණය මුලින්ම විභාග කරන්නේ නඩුව නිසි පරිදි ගොනු කර තිබෙනවාද කියලයි. මේ ගොල්ලෝ නඩුවලින් බේරුණා නොවෙයි, නීතිය නවලා, නඩුවලින් රිංගුවා. ධනය, බලය යොදාගෙන නීතිය ක්‍රියාත්මක කළේ ඒ විදියට. ජාතික ජන බලවේගය මේ රට

ගොඩනඟන්න සෑම කෙනාටම සාධාරණව නීතිය ක්‍රියාත්මක කරනවා. හොරු ටික මේ දවස්වල හොරකම නතර කරලා විතරක් රට හදන්න බැරි බව කියනවා. නමුත්, හොරකම නතර නොකර රට හැදීම ගැන හිතන්නවත් බැහැ.

advertistmentadvertistment
advertistmentadvertistment