කිලෝවක් 10ටවත් දෙන්න බැරි තක්කාලි 50කට මිලදී ගනී

131

කිලෝව රුපියල් 10ටවත් දෙන්න බැරිව මොනරාගල හා බදුල්ල දිස්ත්‍රික්කවල විසිකරන්න ගිය තක්කාලි ටොන් 30ක් cargils යටතේ ක්‍රියාත්මක කිට්ස් ආයතනය මගින් කිලෝවක් රුපියල් 50 ගාණේ මිලදී ගැනිණි.

අස්වැන්න වැඩිවීමත්, ඒ සඳහා නිසි මිලක් නොමැති වීමත් හේතුවෙන් ගොවියාට අලෙවි කර ගැනීමට නොහැකිව, අස්වනු නෙළීම පවා අතහැර දමා තිබූ තක්කාලි ටොන් 30කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සමාගමක් වන cargils යටතේ ක්‍රියාත්මක ප්‍රමුඛ වෙළෙඳ සන්නාමයක් වන kits ආයතනය මගින් පසුගිය 26 වැනි දින තණමල්විල, ගඟේයාය ප්‍රදේශයේදී මිලදී ගැනීම සිදුකෙරුණි.

මේ අවස්ථාව සදහා ෆුඩ්ස් ඇන්ඩ් බේවරේජ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන් කුමාරසිංහ හා එම ආයතනයේ තණමල්විල කලාප භාර කෘෂිකර්ම නිලධාරි මනෝජ් කරුණාතිලක ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. මෙහිදී මොනරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල හා අවට ප්‍රදේශවල ගොවීන්ගෙන් ටොන් 10කට වැඩි තක්කාලි අස්වැන්නක් හා බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ හා වංගියාකුඹුර ඇතුළු ප්‍රදේශවලින් ටොන් 20කට අධික තක්කාලි අස්වැන්නක් ද මිලදී ගැනීම සිදුකෙරුණි. මෙම මිලදී ගත් තක්කාලි සෝස් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බවත් ඉදිරියේදී ද ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමටත්,ගොවියාට ස්ථිර වෙළෙඳ පොළක් ලබා දීම තුළින් ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමටත්, ලංකාවේ ගොවියා ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් ගෙවුණු වසර 25 තුළ කටයුතු කළා වගේම ඉදිරියටත් නව මානයකින් යුතුව තම ආයතනය කටයුතු කරන බවත් කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන් කුමාරසිංහ මහතා මෙහිදී පැවසීය.

තණමල්විල පදිංචි ටී.ජී.මාලනී මහත්මිය

අපිට මේ වෙලාවේ තක්කාලි විකුණගන්න බැරිව තිබුණේ. විශාල මුදලක් වියදම් කරලා අපි මේ වගා සිදුකරලා තියෙන්නේ. ඉතින් මේ වතාවේ තක්කාලි අස්වැන්න වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අපිට තක්කාලි කිලෝ එකක් රුපියල් 10කටවත් විකුණගන්න බැරුව තිබුණේ. එම අවස්ථාවේ cargils හා kits ආයතන මැදිහත්ව අපේ අස්වැන්න මිලදී ගන්න කටයුතු කළා. ඇත්තටම අපි මේ වගා අතහැරලා දමලා වගේ තිබුණේ. මොකද සේවකයෝ දමාගෙන මේ තක්කාලි කඩලා තෝරලා වෙළෙඳ පොළට අරන් ගිහින් කිලෝවක් රුපියල් 10කට දීලා මොනවා කරන්නද.? ඒ වගේ අවස්ථාවක තමයි තක්කාලි ලොකු – පොඩි කියලා කිසිදු තේරීමකින් තොරව කිලෝවක් රුපියල් 50ගාණේ මිලදී ගැනීම සිදුකළේ. මේක අපිට විශාල ශක්තියක්.

එච්.ඒ.සමන්ත ගොවි මහතා.

අපිට මේ තක්කාලි සාමාන්‍ය මාකට් එකට අරගෙන යන්න වුණා නම් අපිට මේක ගොවියෝ දමලා කඩලා වෙනම ලොකු – පොඩි ගෙඩි ලෙස තෝරලා අරගෙන ගිහිල්ලත් කිලෝවක් රුපියල් 10කට වගේ තමයි දෙන්න වෙන්නේ. එහෙම දීලා අපිට මේ වගා සඳහා වැය වුණු මුදල සොයා ගන්න පුළුවන්කමක් නෑ. කිසිදු ලාභයක ලබන්න බෑ. එවැනි මොහොතක තමයි කාගිල්ස් ආයතනය මැදිහත්වෙලා තක්කාලි කිලෝවක් රුපියල් 50 ගාණේ මිලදී ගන්නේ. මේක ගොවියන් වෙච්ච අපිට ලොකු සහනයක් යැයි පැවසිය.
මත්තල – දිලීප් එන්. ජයසේකර


advertistmentadvertistment