කුරුණෑගලදී දෙසොහොයුරන් බිලි ගත් මාරක බසයේ රියැදුරු අද තෙක් රිමාන්ඩ්

1296

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ දරුවන් දෙදෙනා සමග කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින මව.

අපරීක්‍ෂාකාරිව ධාවනය කළ පෞද්ගලික බස් රථයට ගැටී යතුරුපැදියක ගමන් ගත් මව තුවාල ලබා ඇයගේ දරුවන් දෙදෙනා මියයෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම බස් රථයේ රියැදුරු කුරුණෑගල වැඩ බලන මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 29 දා (අද) දක්වා රක්ෂිත බන්ධනාගාර කළ බව කුරුණෑගල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියංකර මහතා පැවසීය.

රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ පෞද්ගික බස්රථයේ රියැදුරු වන උරුක්ගමුව, වීරඹුගෙදර ලිපිනයේ පදිංචි නැකැත් රාලලාගේ ජයතිලක බණ්ඩාර (55) නමැත්තෙකි.

බසය අධික වේගයෙන් හා නොසැලකිලිමත්ව ධාවනය කර ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

ඉකුත් 27 දා අලුයම පැය 4.50ට පමණ කුරුණෑගල කොළඹ මාර්ගයේ කුරුණෑගල ඔරලෝසු කණුව අබියස වර්ණ සංඥාසහිත සතර මංසන්ධයේදී වූ මෙම රිය අනතුරෙන් ජීවිතක්ෂට පත්වූයේ 509/1 කුරුනයිදාවැටිය, අවුලේගම ලිපිනයේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ තරුෂ ධනංජය නිරුෂාන් රත්නායක (15) සහ රත්නායක මුදියන්සේලාගේ ජනිඳු චමෝද් රත්නායක යන පාසල් සිසුන් වන සොයුරන් දෙදෙනාය. ඔවූහු කුරුණෑගල ආරක්ෂක විද්‍යාලයේ අධ්‍යපනය ලබන අය වෙති.

මව වන අබේසිංහ මුදියන්සේලාගේ අඹගහ පැලැල්ලේගෙදර අනුෂා කුමාරි (45) බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබයි. මියගිය දරුවන්ගේ පියා විදේශගව සිටියි.

මෙම අනතුර සම්බන්ධයෙන් පොලිස් විමර්ශන පැවැත්වෙයි.

ආර් එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල


advertistmentadvertistment