කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂක වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග

2409

පවුල් ආරවුල විසඳගන්න පොලිසියට පැමිණි අයට පාට් දාලා…

පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණි අයෙකුට බලහත්කාරයෙන් ඇතු`ථ වී සාපරාධී බලහත්කාරය පෑ බව කියන කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා නියම කළේය.

කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වජිර ඉන්ද්‍රජිත් නමැත්තෙකු එසේ අත්අඩංගුවට ගැනීමට ඉකුත් (25 දා) නියම කළේය.

පවුල් ආරවුලක් හේතුවෙන් එය විසඳාගැනීමට කුලියාපිටිය පොලිස් කොට්ඨාසයට අයත් කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණි අඹු සැමි යුවළකගේ සැමියා ප්‍රකාශ ලබාදෙමින් සිටියදී එම කාර්යංශයට ඇතුලු වී ඇති මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා ප්‍රකාශ සටහන් කරමින් සිටි නිලධාරිනියට උස් හඬින් බැණ එලවා දමා ප්‍රකාශය ලබාදෙමින් සිටි සැමියාට පහරදීමට සැරසී ඇති බව කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ මහතා අධිකරණයට කරුණු වාර්තා කරමින් පැවසීය.

එහිදී එම කාර්යාංශයේ ස්ථානාධිපතිතුමිය ශබ්දය ඇසී එම ස්ථානයට පැමිණ වහා එම පහරදීමට ගත් උත්සාහයට බාධා කරමින් එය නොගැලපෙන ක්‍රියාවක් බව හුවා දක්වමින් මෙම පැමිණිල්ල ඉහළින් ලද බව පවසා තත්වය සමනය කිරීමට උත්සාහ ගෙන තිබූ බවත් මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා එහිදී කලහකාරීව හැසිරෙමින් කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිවරිය සමගින්ද පරුෂ වචන කියමින් බැණ වැදී වචන හුවමාරුවක් සිදුව තිබූ බවද පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් කරුණු වාර්තා කළේය.

පොලිස් අධිකාරිවරයා තවදුරටත් කියාසිටියේ මේ සම්බන්ධව ස්ථානාධිපතිතුමිය හැර තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ලබාදී ඇති සාක්‍ෂි මත ඉදිරි විමර්ශන සිදුකරන බවත් සැකකාර පොලිස් නිලධාරියා මේ වනවිට නිවාඩු වාර්තාකොට ස්ථානයෙන් පිටව ගොස් ඇති බවත්ය. එමෙන්ම සැකකාර මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වෙනත් දිනයක් ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය.

එහිදී කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය ඇත්තේ මූලස්ථාන පොලිසිය යටතේද යන්න විමසූ මහෙස්ත්‍රාත්වරයා නොවැම්බර් මස 8 වැනිදා සැකකරු අත්අඩංගුවෙන් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියම කළේය.

කුලියාපිටිය කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ, කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශසේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක පුෂ්පිත ගුණසේකර යන මහත්වරුන් බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කළේය.
කුලියාපිටිය – උපේන්‍ද්‍ර සේරසිංහ


advertistmentadvertistment