කුසල් ජනිත්ගේ ශතකයෙන් ශ්‍රී ලංකාව ගොඩයයි

137

නවසීලන්ත – ශ්‍රී ලංකා විස්සයි-20 තරගාවලිය

වසර 14කට පසු ශ්‍රී ලංකාවට විස්සයි – 20 ශතකයක්

තරගයේ වීරයා කුසල් ජනිත්

තරගාවලියේ වීරයා ජේකබ් ඩෆී

වසර 18කට පසු නවසීලන්තයේදී ශ්‍රී ලංකාවට 20 – 20 තරග ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්තය සමග පැවැති තරග 3කින් සමන්විත විස්සයි – 20 තරගාවලියේ අවසන් තරගයේ කුසල් ජනිත් පෙරේරා ලබාගත් සුපිරි ශතකය නිසා ශ්‍රී ලංකාවට ලකුණ 7ක ජයක් හිමිවිය.

ශ්‍රී ලංකා පිතිකරුවකු විස්සයි – 20 තරගයකදී ශතකයක් වාර්තා කළේ වසර 04කට පසුව වීමත් සුවිශේෂි එකක් විය.

කුසල් සිය ශතකය ලබාගත්තේ පන්දු 46කිනි. මීට පෙර විස්සයි – 20 තරගයකදී ශ්‍රි ලංකා පිතිකරුවන් දෙදෙනෙක් පමණක් ශතක ලබා තිබිණි. එනම් මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන් පමණි.

කුසල් ලකුණු 101ක් ලබාගත් අතර එයට හතරේ පහරවල් 13ක් සහ 6 පහරවල් 04ක් ඇතුළත් විය.

කෙසේ වෙතත් මෙම ජයත් සමග වසර 18කට පසු නවසීලන්තයේදී නවසීලන්තයට එරෙහි විස්සයි – 20 තරගය ජය ලැබීම ද විශේෂත්වයකි. අවසන් වරට ශ්‍රී ලංකාව නවසීලන්තයේදී විස්සයි – 20 ජය ලැබුවේ වසර 2006 දීය.

තුන්වැනි තරගයේ කාසිය වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය.

මුලින්ම පන්දුවට පහරදීමට පිටියට පිවිසියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් දෙදෙනාය. ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලෙස පැතුම් නිශ්ශංක ලකුණු 14කට දැවීගියේ ලකුණු 24ක සබඳතාවය බිඳදමමිනි. දෙවැනි කඩුල්ල ලෙස දැවීගියේ ලකුණු 22ක් ලබාසිටි කුසල් මෙන්ඩිස්ය.

තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු කුසල් ජනිත් සමග එක්ව ලකුණු 41ක සබඳතාවක් ගොඩනැඟූ අතර ශ්‍රී ලංකා ඉනිමේ 10 වන පන්දු වාරයේදී ලකුණු 17කට අවිශ්ක ප්‍රනාන්දු දැවීගිය අතර ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඒ වනවිට කඩුලු 3කට ලකුණු 83ක් ලෙස සටහන් විය.

අවිශ්කයේ දැවීයෑමෙන් පසු නායක චරිත් අසලංක කුසල් සමග එක්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමට වේගවත්ව ලකුණු රැස් කළහ.

කුසල් ජනිත්ගේ ශතකයෙන් ශ්‍රී ලංකාව ගොඩයයි

ලකුණු 46ක් ලබාසිටි චරිත් අසලංක දැවීගියේ ශ්‍රී ලංකා ඉනිමේ 17 වන පන්දු වාරයේදීය. චරිත් හයේ පහර 5ක් සහ එක් හතරේ පහරක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම නිමාවූයේ පන්දුවාර 20ක් තුළ ලකුණු 218ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමිනි.

කුසල් ජනිත් පෙරේරා පන්දු 46කදී සුපිරි ශතකයක් වාර්තා කළ අතර ඔහු දැවීගියේ ලකුණු 101ක් ලබාසිටියදීය.

ලකුණු 219ක ඉලක්කයක් හිමිවූ නවසීලන්තය පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට ආරම්භ පිතිකරණ යුගලය වන ටීම් රොබින්සන් සහ රචින් රවින්ද්‍ර පිටියට පිවිසියහ.

ආරම්භක පිතිකරු යුගලය සාර්ථක ආරම්භයක් ලබාගත් අතර නවසීලන්තයේ පළමු කඩුල්ල ලකුණු 81ක් ලබාසිටියදී දැවීගියේය.

ඒ ලකුණු 37ක් ලබා සිටි ටීම් රොබින්සන්ය. එම කඩුල්ලේ අයිතිකරු වූයේ බිනර ප්‍රනාන්දුය.

නවසීලන්ත කණ්ඩායම තරගයේ පරාජය භාරගැනීමට ඒ තරම් කැමැත්තක් නැති බවක් පෙනීගිය අතර විටෙක ජයග්‍රහණය දෙපිලටම විවෘතව පැවැති අතර ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ප්‍රබල ක්‍රීඩකයන් තිදෙනකුගේ කඩුලු දවාගත්තේ ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී මාවත විවර කරමිනි. ඒ අනුව අවසන් පන්දු වාරයේ නවසීලන්තයට ලකුණු 22ක් අවශ්‍ය වුවත් බිනර ප්‍රනාන්දු අවසන් පන්දු වාරයේදී ලකුණු 14ක් පමණක් ලබාදෙමින් ජයග්‍රහණය ස්ථිය කළේය.

සුසිල් ජයකොඩි

සංස්කරණය – සුසිල් ජයකොඩි


advertistmentadvertistment