මෝටර් රථ දත්ත මගඩිය: වාහන 51ක් අන්සතු කිරීම උසාවිය අත්හිටුවයි

395

තවත් වාහන 127ක් ගැනත් විමර්ශන

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතිය වෙනස් කර වෙනත් වාහන අංක නමට ලියාපදිංචි කර ඇතැයි කියන, රුපියල් කෝටි සිය ගණනක් වටිනා අති සුඛෝපභෝගි වාහන 51ක් වෙනත් පාර්ශ්වවලට පැවරීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (05දා) මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝග නිකුත් කළේය.

ශ්‍රී ලංකා රේගුව නිෂ්කාශනය නොකළ විදේශ රටවල නිෂ්පාදිත එකක් රුපියල් කෝටි 5 – 6 කට අධික වටිනාකමක් සහිත ටොයොටා, බී.එම්.ඩබ්ලිව්, මිනිකූපර්, මිට්සුබිසි යනාදී අති සුඛෝපභෝගී වාහන 51ක් එලෙස ව්‍යාජ ලෙස ලියාපදිංචි කර ඇති බවට අනාවරණය වී ඇතැයි පෙන්වා දෙමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනූෂා සම්මන්දප්පෙරුම මහත්මිය කළ කරුණු දැක්වීමක් සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය. එකී වාහන 51 ලියාපදිංචි කර තිබූ මුල් ලේඛන දත්ත ව්‍යාජ ලෙස සකස් කර ලියාපදිංචි කර ඇති පුද්ගලයන්ගේ තොරතුරු සහිත ලිපි ගොනු 51ක් අධිකරණයට ඉදිරිපත් කළ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරිය සිය කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එකී වංචා පිළිබඳව අනාවරණය කර ගැනීමට හැකි වූ බවද අධිකරණයට පැවසුවාය.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති ද්විත්ව කාර්ය සඳහා යොදාගන්නා වාහන අංක නමින් ලියාපදිංචි කර ඇති වාහන 178ක් පිළිබඳව ලැබුණ තොරතුරු ඔස්සේ සිදුකළ විමර්ශනවලට පෙරකී වාහන 51ක දත්ත වෙනස් කර ඇති බවට තහවුරු වූ බවත් සෙසු වාහන 127 පිළිබඳවද පූර්ණ විමර්ශනයක් ආරම්භ කොට ඇති බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනූෂා සම්මන්දප්පෙරුම මහත්මිය අධිකරණයට පැවසුවාය.

එකී වංචාව මගින් රජයට අති විශාල මුදලක් අහිමි වී ඇති බවද, විමර්ශන සිදුකළ රහසිගත හා බුද්ධි විමර්ශන අංශයේ නිලධාරීහු අධිකරණයට පැවසූහ. එම විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරනා ලෙසටද එහිදී නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වංචාවට සම්බන්ධ සියලු පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටද නියෝග කළේය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment