කූට ලේඛන හදා බාසික්ට හෝටල් ඉඩම දීම: – වෙරළ සංරක්ෂණ හිටපු ලේකම් අත්අඩංගුවට – පසුව ඇප දෙයි

3242

මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස ප්‍රකට ශිරාන් බාසික් නමැත්තාට අයත් බව කියන දෙහිවල පෝල් බීච් හෝටලය ඉදිකිරීම සඳහා රජයේ ඉඩමකට කූට ලේඛන සකස් කර ලබාදුන් බවට සැකපිට වෙරළ සංරක්ෂණ සහ පහත්බිම් සංවර්ධනය කිරීමේ අමාත්‍යාංශයේ හිටපු ලේකම් අනිල් විජේසිංහ මහතා ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.

අනිල් විජේසිංහ මහතා මේ වනවිට විශ්‍රාම ගොස් සිටින අතර ඔහු නැඟෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටින බව පොලිසිය පවසයි.

මෙම කූට ලේඛන සකස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනිල් විජේසිංහ මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් ඒ මහතා විසින් මීට පෙර අධිකරණයෙන් අපේක්ෂිත ඇපයක් ඉදිරිපත් කර තිබිණි.

ඊයේ පෙරවරුවේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා ඒ මහතා ගල්කිස්ස කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබිණි.

එහිදී ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඒ මහතා අත්අඩංගුවට ගත් අතර පසුව ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

අරුන්දික ප්‍රනාන්දු මහතා ඇමතිවරයාව සිටි කාලසීමාවේදී අනිල් විජේසිංහ මහතා මෙම කූට ලේඛනය සකස් කර රජයේ ඉඩම ශිරාන් බාසික්ගේ පියාට තෑගි ඔප්පුවකින් ලබාදී තිබූ බවද විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම ව්‍යාජ ඔප්පු සකස් කිරීම සහ රජයේ ඉඩමක හෝටලයක් ඉදිකිරීමට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් තවත් රජයේ නිලධාරීන් දේශපාලනඥයන් ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන බව පොලිසිය පවසයි.

එම සැකකරුවන්ද ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.

මෙම හෝටලයේ කළමනාකාරීත්වය විසින් හෝටලය ඉදිකිරීමට, තැබෑරුම් සඳහා අවසර ලබාගැනීම ඇතුළු තවත් අවසර ලබාගැනීම් කීපයක් සඳහා ඉදිරිපත් කර ඇත්තේ රජයේ ඉඩම සඳහා සැකසූ මෙම කූට ලේඛනය බවද පොලිසිය පවසයි.

ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණ මහතාගේ උපදෙස් මත කොට්ඨාස විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති රංග පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

අත්අඩංගුවට ගත් හිටපු ලේකම්වරයා ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත පසුව ඊයේ මුදාහැර තිබේ.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment