තාක්ෂණය යනු මිනිසා විසින් හැසිරවිය යුත්තක් මිස මිනිසාව හසුරවන මාධ්‍යයක් නොවිය යුතුය. එහිදී අද ලෝකයේ තාක්ෂණ ක්ෂේත්‍රයේ ඇතිවූ නව ප්‍රවණතාවයක් ලෙස කෘතිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) හැඳින්විය හැක. සරලවම ගතහොත් AI යනු මිනිස් බුද්ධියක් මෙන් ක්‍රියා කරන යන්ත්‍ර බුද්ධියකි. මෙය ව්‍යාපාර, සෞඛ්‍ය, අධ්‍යාපනය, වාණිජය වැනි බොහෝ ක්ෂේත්‍රවල දී උපරිම වාසි ලබාදෙන මෙවලමක් බවට පත්වී ඇත. නමුත් එම වාසිවලට පිටුපසින් ඇති අඳුරු පැතිකඩ ගැන අප තවමත් ගැඹුරු අවධානයක් යොමු කර නැත.
අධි තාත්වික ව්‍යාජ වීඩියෝ නිර්මාණය
Deepfake තාක්ෂණය යනු AI භාවිතයෙන් මිනිසුන්ගේ මුහුණු, හඬ, හෝ ශරීර චලන ක්‍රම හුවමාරු කර ඇත්තක් මෙන් පෙනෙන ව්‍යාජ වීඩියෝ නිර්මාණය කිරීමකි. මෙය වර්තමානයේ සුලභව දක්නට ලැබේ. මෙවැනි වීඩියෝ සත්‍යය හා අසත්‍යය අතර සීමාව මකාදමන අතර, පුද්ගලයකුගේ පෞද්ගලිකත්වය හා ගෞරවය බිඳ දැමීමේ උපක්‍රමයක් ලෙසද භාවිත විය හැක. Deepfake තාක්ෂණය භාවිතයෙන් ව්‍යාජ චරිත හා අමානුෂික දර්ශන නිර්මාණය කරමින් සමාජයේ නැති සිදුවීම් ඇති ලෙස පෙන්වයි. විශේෂයෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයන් හෝ සාමාන්‍ය පුද්ගලයන්ගේ පින්තූර සහ හඬ භාවිතයෙන් නිර්මාණය කරන deepfake වීඩියෝ නිසා නීතිමය හා මානසික විපත් ඇති විය හැක. මේවා මගින් සමාජය තුළ විශ්වාසනීයත්වයට බලපෑම් කරමින්, අනවශ්‍ය භීතියක් පැතිරවිය හැක. එබැවින් deepfake තාක්ෂණය මනස, සමාජය සහ සත්‍යය තුළ ඇති කළ හැකි විනාශය අවධානයට ගනිමින් නීතිමය සීමාකිරීම් සහ අවබෝධයෙන් මාධ්‍ය භාවිතය අවශ්‍ය වේ.
රැකියා අවදානම
කෘතිම බුද්ධියෙහි ඇති කාර්යක්ෂම බව, බහු කාර්ය කිරීමේ හැකියාව නිසා විවිධ වෘත්තීන් තුළ AI තාක්ෂණය භාවිත කරයි. නිදසුනක් ලෙස ආපනශාලාවල රොබෝවරුන් මගින් ආහාර පිළිගැන්වීම, රියැදුරන් නොමැතිව ස්වංක්‍රීයව ධාවනය වන වාහන නිර්මාණය කිරීම, AI තාක්ෂණය ඔස්සේ උපදේශන සේවා හා අධ්‍යාපනය ලබා දීම දැක්විය හැක. මේ දිනවල වැඩි වශයෙන් අහන්නට දකින්නට ලැබුණු පුවත් අතර බොහෝ ආයතනවලින් කෘතිම බුද්ධිය තාක්ෂණය නිසා සේවකයන් විශාල ප්‍රමාණයකට සිය රැකියා අහිමිව ගිය ආකාරයයි. එබැවින් මිනිසුන්ට රැකියා අහිමිවීමත්, මානව බලශක්තිය යොදාගන්නා රැකියා උත්පාදනය නොවීමත් මගින් මානව බලශක්තිය රැකියා ක්ෂේත්‍රය විශාල අවදානමකට ලක්ව ඇත. මෙය ආර්ථික අසමතුලිතතාව වැඩිවීමේ හැකියාවක් ඇති කරයි.
පෞද්ගලිකත්වයට අනතුරු
මෙහිදී මූලිකයෙන්ම දත්ත එකතු කිරීම, විශ්ලේෂණය කිරීම සහ භාවිතය AI මගින් සිදු කෙරේ. එවැනි ක්‍රියාකාරකම්වලදී පරිශීලකයන්ගේ අවසරය නොමැතිව දත්ත ලබා ගැනීම, හැක් කිරීම, මුහුණ හඳුනා ගැනීම මගින් ඒවා සංස්කරණය කිරීම වැනි ක්‍රම භාවිතයෙන් පුද්ගලිකත්වයට බරපතළ අනතුරු මතුවිය හැක. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය, සෙවුම් යන්ත්‍ර, ජංගම යෙදුම් හරහා එකතු කරන AI දත්ත මගින් පුද්ගලයකුගේ හැසිරීම් රටා හඳුනා ගනිමින් වාණිජ හෝ අයථා අරමුණු සඳහා එම දත්ත භාවිත කළ හැක. එමඟින් පුද්ගලයන්ගේ නිදහස, ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය අභියෝගයකට ලක්වීමේ හැකියාවක් ඇත. ඒ නිසා AI භාවිතය සම්බන්ධයෙන් සම්පූර්ණ විශේෂිත නීති, නීතිමය ආරක්ෂාවන් සහ පාරිභෝගික අවබෝධය අවශ්‍ය වේ.
මානසික බලපෑම
AI තාක්ෂණයේ අඳුරු පැතිකඩ මගින් මිනිස් මනසට විවිධ බලපෑම් සිදු වෙයි. ඇල්ගොරිතම මගින් පරිශීලකයන්ගේ ආකල්ප, රුචි, හැසිරීම් රටා විශ්ලේෂණය කර ඔවුන්ට උචිත අන්තර්ගතය පමණක් නැවත නැවත ඉදිරිපත් කරමින් චින්තනයේ නිදහස සීමා කරයි. මෙය “ඇල්ගොරිතමය මිනිස් මනස පාලනය කිරීම” ලෙස සැලකිය හැක. පරිශීලකයා නොදැනුවත්වම ඔහුගේ අදහස්, විශ්වාස සහ තීරණ තීරණය කිරීම AI මත පදනම් වන අයුරින් පාලනය වේ.
මෙවැනි පද්ධති මගින් ව්‍යාජ තොරතුරු හෝ ප්‍රචණ්ඩකාරී දෑ නැවත නැවත නරඹන්නට සලසා ත්‍රස්තවාදී හෝ අන්තවාදී අදහස් පවා සාමාන්‍ය කරමින් මනස පාලනය කිරීමේ ක්‍රියාවලියක් ඇති කරයි. තවද, AI මත පදනම් වූ සමාජ මාධ්‍ය ඇල්ගොරිතම මගින් පුද්ගලයන් අතර ආසාදනීය සැසඳීම්, විශ්වාස කඩකිරීම්, සහ මානසික ආතතිය වර්ධනය කරයි.
එබැවින් කෘතිම බුද්ධිය (AI) යනු අද යුගයේ වටිනා තාක්ෂණික මෙවලමක් වුවද, එය සඟවා ඇති අඳුරු පැතිකඩ පිළිබඳව අවධානයෙන් සිටීම අත්‍යවශ්‍ය වේ. අධිතාත්වික ව්‍යාජ වීඩියෝවන් මගින් සත්‍යය හා අසත්‍යය අතර සීමාව මකාදමන අතර, AI නිසා රැකියා අහිමිවීම් වැනි ආර්ථික අවදානම්ද මතුවේ. එමෙන්ම AI ක්‍රම මගින් මනසට විකෘති බලපෑම් ඇති කරමින් පෞද්ගලිකත්වයට හානි පැමිණවීම් වැනි තත්ත්වයන් ද නිර්මාණය කරයි. එබැවින් තාක්ෂණික ලෝකයක් සමග නිරතුරු ජීවත් වන අප මෙකී නව තාක්ෂණයන් පිළිබඳ නිසි අවබෝධයකින් කටයුතු කළ යුතුය. එසේ නොකරන්නේ නම් ඉහත කී AI තාක්ෂණයේ අඳුරු පැතිකඩයන්ට අප පහසුවෙන්ම හසුවිය හැක.
සේමිණී ශෂිප්‍රභා,
ජනසන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.