ඉඩමක් සූදානම්: නමුත් ඔවුන් විදුහලේ ක්‍රීඩා පිටියම ඉල්ලනවා – ප්‍රාදේශීය ලේකම්
කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන් කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ රාජාංගනය යාය 04 ප්‍රදේශයේ කෙසෙල් අපනයන කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ. එම ප්‍රදේශයේ කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා රාජාංගනය යාය 04 විද්‍යාලයේ ක්‍රීඩා පිටියට අයත් භූමියෙන් අක්කරයක පමණ කොටසක් ලබා නොදුන්නැයි ඊට විරෝධය පා පෙරේදා (11 දා) දහවල් රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩාවැදී ප්‍රාදේශීය ලේකම් උපාලි රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් බැණ තර්ජනය කොට රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන රාජාංගනය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයකු වූ නුවන් මුණසිංහ නමැත්තා ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් ඊයේ (12 දා) පෙරවරුවේ තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
එදින තිස් දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩාවැදී ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට තර්ජනය කොට ඔවුන්ගේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරී ඇත. එම සියලු දෙනා අත්අඩංගුවට ගන්නාතෙක් එම කාර්යාලයට අනුයුක්තව සේවයෙහි නියුතු සියලු නිලධාරීන් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කොට තිබේ. මේ හේතුවෙන් ඊයේ (12 දා) ප්‍රා. ලේකම් කාර්යාලයේ නිලධාරීහු වැඩ වර්ජනයක නිරත වූහ. සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු පිරිස පෙරේදා (11 දා) දවල් 12.30 ට පමණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත කඩාවැදී තිබිණ.
රාජාංගනය යාය 04 විද්‍යාලයේ ක්‍රීඩා පිටියට අයත් භූමි භාගයෙන් අක්කරයක කොටසක් තම කෙසෙල් සැකැසුම් ව්‍යාපෘති ගොඩනැඟිල්ල ඉදිකිරීමට නිදහස් නොකිරීම පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් මේ මැර කණ්ඩායම හේතු විමසා ඇත.
එම අවස්ථාවේ ප්‍රදේශයේ ගොවි සහ සිවිල් සංවිධාන ඇතුළු ගුරු වෘත්තීය සමිතිවලින් එල්ලවී තිබෙන දැඩි විරෝධය නිසා තමන්ට රාජාංගනය යාය 04 විද්‍යාලයට අයත් ඉඩම නිදහස් කළ නොහැකි බවත් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා විසින් එම කෙසෙල් අපනයන ව්‍යාපෘතියට ලබාදීමට එකඟ වී ඇති රාජාංගනයේ පිහිටි ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් ඉඩමෙන් කොටසක් ලබාදිය හැකි බවත් ප්‍රාදේශීය ලේකම්වරයා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට දැනුම් දී ඇත. එම අවස්ථාවේ කුපිත වූ මන්ත්‍රීවරයා ඇතුළු මැර කණ්ඩායම ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් බැණ තර්ජනය කොට රාජකාරියට බාධා කරමින් හැසිරී තිබේ. ඉන් නොසන්සුන්තාවට පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු කාර්ය මණ්ඩලය එම මැර කණ්ඩායම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන තෙක් වැඩවර්ජනයක් ආරම්භ කොට උද්ඝෝෂණයකද නියැළිණි. අනතුරුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් උපාලි රාජපක්ෂ මහතා තඹුත්තේගම පොලිසිය වෙත පැමිණිල්ලක්ද කොට තිබිණ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජාංගනය ප්‍රාදේශීය ලේකම් උපාලි රාජපක්ෂ මහතා –
“කෙසෙල් අපනයන සැකසුම් මධ්‍යස්ථානයක් ඉදි කිරීමට රාජාංගනය යාය 04 විදුහලේ ක්‍රීඩා පිටියෙන් අක්කරයක කොටසක් දීමට ප්‍රදේශයේ ජනතාව, ගොවි, තරුණ සහ සිවිල් සංවිධානවලින් දැඩි විරෝධයක් පළ කර තිබෙනවා. මෙම කෙසෙල් අපනයන ව්‍යාපෘතියට අපි බිම් කොටසක් ලබාදීමට කටයුතු සූදානම් කර තිබෙනවා. නමුත් එය ප්‍රතික්ෂේප කර විදුහල් ක්‍රීඩා පිටියෙන්ම කොටසක් ඉල්ලනවා.” මේ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළට ගොස් එහි නිලධාරීන්ට තර්ජනය කළ බව කියන කෙසෙල් අපනයන ව්‍යාපෘතියේ සභාපති ඕ. වී. ආර්. සමින්ද්‍ර මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ එහි ගිය කිසිදු පුද්ගලයෙකු ප්‍රාදේශීය ලේකම්වරයාට හෝ නිලධාරීන් කිසිවකුටත් තර්ජනයක් හෝ රාජකාරියට බාධා නොකළ බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (12 දා) තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
තඹුත්තේගම මූලස්ථාන ප්‍ර.පො.ප. සාගර ලියනගේ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. පී. ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන පවත්වති.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු