කොටුවේ ඉඩම තවත් වසර 99කට බෞද්ධ සංගමයට ලබාදෙනවා – ඩී.බී. ජයතිලකයන් ගෙන ගිය අන්දමේ වැඩපිළිවෙළක් නැවත රටට අවශ්‍යයයි

231

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ 125 වැනි සංවත්සර උත්සවය අමතමින් කියයි

සියලු‍ පුරවැසියන් දායක කර ගනිමින් සමාජ, සංස්කෘතික, ආගමික සහ අධ්‍යාපනික වශයෙන් රට තුළ ශක්තිමත් පදනමක් ඇති කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ දිවංගත ඩී.බී. ජයතිලක මැතිතුමා ගෙන ගිය අන්දමේ වැඩපිළිවෙළක් නැවත රටට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

කොටුවේ ඉඩම තවත් වසර 99කට බෞද්ධ සංගමයට ලබාදෙනවා - ඩී.බී. ජයතිලකයන් ගෙන ගිය අන්දමේ වැඩපිළිවෙළක් නැවත රටට අවශ්‍යයයි

වර්තමානය දෙස නොව අනාගතය පිළිබඳ අවධානය යොමු කරමින් එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සියලු‍ දෙනා එකට එක්ව ඉදිරියට යා යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කර සිටියේ පෙරේදා (07දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කොළඹ තරුණ බෞද්ධ සංගමයේ 125 වැනි සංවත්සර උත්සවය අමතමිනි. කොළඹ තරණ බෞද්ධ සංගමය 1898 ජනවාරි 08 වන දින ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එහි ආරම්භක සභාපතිවරයා ලෙස ඩී.බී. ජයතිලක මහතා පත් වූ අතර මෙරට පැරණිතම වූත්, විශාලතම වූත් බෞද්ධ සංවිධානය ලෙස කොළඹ තරුණ බෞද්ධ සංගමය රට වෙනුවෙන් පුළුල් මෙහෙවරක් ඉටු කරමින් සිටියි.

‘ලංකාභිමානය – එක ශ්‍රී ලංකාවක් සඳහා කතිකාව’ යන තේමාව යටතේ මෙවර සංවත්සර උත්සවය සංවිධානය කර තිබිණි. 125 වන සැමරුම නිමිත්තෙන් එළිදැක්වූ සමරු කලාපයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණු අතර විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් දස දෙනකුට ශිෂ්‍යත්ව

පිළිගැන්වීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි. අනතුරුව ජනාධිපතිවරයා සංගමයේ ප්‍රධානීන්, පාලක මණ්ඩල සාමාජිකයන් සහ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් සමඟ සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

කොළඹ තරුණ බෞද්ධ සංගමය ආරම්භ කර වසර 125ක් සම්පූර්ණ වී තිබෙනවා. මෙම සංගමය ලංකාවේ ඉතිහාසය නිර්මාණය කළ සංගමයක් බව කිව යුතුයි. එම සමයේදී බටහිර රටවල ක්‍රිස්තියනි තරුණ සමිති ඇති කළා. එවකට අප සිටියේ බෞද්ධ පුනරුදය සමඟයි. එදා අපේ රටේ බෞද්ධ පුනරුදය නඟා සිටුවීමට හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, ඕල්කට්තුමා වැනි අය නායකත්වය ගනු ලැබුවා. එවන් පසුබිමක අප තරුණ බෞද්ධ සංගමය ආරම්භ කරනු ලැබුවා.

මෙම සංගමයේ දැක්ම බටහිර රටවලට වඩා වෙනස්. බෞද්ධ අධ්‍යාපනයෙන් රට ඉදිරියට ගෙන යෑමට මෙම සංගමය මනා පිටිවහලක් වුණා. මෙහි නායකත්වය ගනු ලැබුවේ ඩී. බී. ජයතිලක මැතිතුමා. එම මැතිණියත් කැලණිය රජමහා විහාරය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කළා.

තරුණ බෞද්ධ සංගමය අපේ නිදහස් ව්‍යාපාරයට සම්බන්ධ වූ ප්‍රධාන බලවේගයක් ලෙස අප සලකනවා. මෙහි 125 වැනි සංවත්සරය සමරන අවස්ථාවේ මෙම සංගමයට උපකාරයක් කිරීමට මම සිතුවා. කොළඹ කොටුවේ පිහිටි රජයට අයත් ඉඩම තවත් වසර 99කට මේ සංගමයට ලබාදීමට කටයුතු කරනවා. ඒ වගේම එම ඉඩම අවට ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ 125 වැනි සංවත්සරයේ තේමාව වන්නේ ‘එක ශ්‍රී ලංකාවක කතිකාව’ යන්නයි. අද රටට අවශ්‍ය වන්නේද මෙයයි. අද සියලු‍දෙනා පවසන්නේ එකම ශ්‍රී ලංකාවක් අවශ්‍ය බවයි. වර්තමානය දෙස නොව අනාගතය දෙස අප බැලිය යුතුයි. එහිදී ඩී. බී. ජයතිලක මැතිතුමා එදා ඇති කළ ආකාරයේ සැලස්මක් නැවත අවශ්‍යයි. ඒ වගේම සියලු‍දෙනා එකට එකතුවී රටක් ලෙස ඉදිරියට යා හැකි සැලැස්මක් අවශ්‍යයි.

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ වත්මන් සභාපති මහේන්ද්‍ර ජයසේකර මහතා

කොළඹ තරුණ බෞද්ධ සංගමය ලෝකයේ දැනට ක්‍රියාත්මක වන ප්‍රධානතම සහ පැරැණිතම සංගමයයි. 1898 වසරේදී ශ්‍රීමත් ඩී.බී. ජයතිලක බෞද්ධ තරුණයාගේත්, සී.එස්. දිසානායක යන කතෝලික තරුණයාගේත් ප්‍රධානත්වයෙන් ආරම්භ වූ කොළඹ තරුණ බෞද්ධ සංගමය රටේ ජාතික සහ ආගමික සමගියට මෙන්ම ජාතීන් එකමුතු කිරීමට අතිවිශාල සේවාවක් ඉටු කළා. ඒවගේම ජාතික දේශපාලනයේ ප්‍රබලයන් වශයෙන් ඉදිරියට පැමිණි ශ්‍රීමත් ඩී. බී. ජයතිලක,ඩී.එස්. සේනානායක, ශ්‍රීමත් අර්නස්ට් සිල්වා වැනි තරුණ නායකයන් කොළඹ තරුණ බෞද්ධ සෙවණේ හැදී වැඩුණා. මේ ජාතික සභාව ආරම්භ වන විට එවකට සිටි ද්‍රවිඩ නායකයන් වන පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුනාචලම්, ඉස්ලාම් නායකයන් වන ශ්‍රීමත් රසීක් ෆරීඩ්, ටී.බී. ජයා වැනි අය කොළඹ තරුණ බෞද්ධ සංගමය හරහා ජාතික දේශපාලනයට සම්බන්ධ වුණා.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන මහනායක ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති, ශාස්ත්‍රවේදී පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමි, ඇත්කඳ රජමහා විහාරාධිපති, මහවිහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ පූජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සි අනුනායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද, හින්දු, කතෝලික, ඉස්ලාම් ආගමික නායකයන්ද, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු කතානායක කරු ජයසූරිය, රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, තිස්ස අත්තනායක, කොළඹ තරුණ බෞද්ධ සංගමයේ පාලක මණ්ඩලයේ සභාපති අජිතද සොයිසා, එම සංගමයේ මහ ලේකම් ප්‍රසන්ත අබේකෝන් යන මහත්ම මහත්මීන්ද, විදෙස් තානාපතිවරු, විද්වතුන්, වෘත්තීයවේදීන්, කලාකරුවන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment