ආරම්භය 1865 දී,නගරාධිපති වැටුප 30,000
නගරයේ ජනගහනය 752,933
සභිකයින් 119
කොළඹ නගරයේ සුනාමියට හසු වූ එකම තැන කාක දූපතයි.
නගර මධ්‍යයේ හෙක්ටර්යාර් 65 ක බේරේ වැව ඒ කාලයේ සංචාරක ආකර්ෂණයක්,
තුනක් බේරේ දෙකක් බේරේ සිරස්තලයට මුල් වූයේ බේරේ වැවේ පෙරළුණු ඔරුවක්
අප කැමති වුවත්, අකමැති වුවත්, කොළඹ ගැන මතකය අපගේ ඔළුගෙඩිවල රැඳී ඇත්තේ එක්තරා වෛර්ණ චිත්‍රයක්ද පසුබිම් කර ගනිමිනි.
ඉන් දැක්වෙන්නේ නිල්වන් මුහුදෙහි නවතා ඇති දැවැන්ත රුවල් නැවකුත්, ඉන් ඔබ්බෙහි වූ වෙරළ මත වාඩි වී රුධිරය බඳු රක්ත වර්ණ වයින් පානයේ යෙදෙමින්, තිරිවානා ගල් පැහැති සුදු පාන් අනුභව කරන ලොරෙන්සෝ ද අල්මේදා ප්‍රමුඛ භට කණ්ඩායමය.
වෙළඳාමේ යන අතරම දේශපාලන සබඳතාවයන් ගොඩනගා ගැනීම ද වැදගත් බව දැන සිටි ඔවුන් හට, එවකට කෝට්ටේ සිටි මහ රජතුමා හමුවීමට තිබූ වුවමනාව සිංහලයින් විසින් ඉටුකර දෙනු ලැබුවේ වරුවකුත් නැති ගමනට දින දෙක තුනක් ගතවන පරිද්දෙන් බව නොදන්නා කෙනෙක් නැත.
සිංහලයාගේ මෙම කපටිකමට ප්‍රතිචාර වශයෙන්, පරංගීන් විසින් අපට ප්‍රතිචාර දැක් වූයේ ශත වර්ෂ ගණනාවකට මතක සිටින ආකාරයේ පාඩමක් උගන්වමින් කොළඹ කොටුව තනා ගනිමිනි. ඒ ගෙරිහමක් එළා ගැනීමට රජුගෙන් ඉඩකඩක් ඉල්ලා ගැනීමෙනි.
ඉතිහාසඥයින් සහ පුරා විද්‍යාඥයින් කුමන හේතු ඉදිරිපත් කරනු ලැබුවද මෙරට පොදු ජන විඥානය තුළ කොළඹ පැලපදියම්ව ඇත්තේ ඒ ආකාරයෙනි. හරියට විජය කුමාරයාගෙන් අප පැවත එන බවට වූ විශ්වාසය මෙනි.
එදා මෙදා තුර කොළඹ යනු තවත් ජාතීන් දෙකක්ද, අපේම ආණ්ඩු කිහිපයක් ද යටතේ කොළඹ ගොඩනැගුණේ ඒ ගැන අප තුළ වූ ලෝකය ද වඩාත් ප්‍රසාරණය කරමිනි.
ඒ අනුව කොළඹ යනු අප රටේ ඉතා වැඩි දෙනකුට අපේම වන මුත්, අපේ නොවන ජාතියේ අමුතුම රාජධානියකි. අප කුඩා කාලයේ සමහරකුට එංගලන්තය මහ එංගලන්තය වූවාසේ එය මහ කොළඹ විය.
ඉතින්, ඔය ආකාරයට හැම දෙයක් මහ බවට පත්වූ කොළඹ මහ නගර සභාව ද, අනෙකාට වඩා ලොකු එකක් වීම පුදුමයට කරුණක් නොවේ.
1865 දී ආරම්භ කරන ලද කොළඹ මහ නගර සභාව ප්‍රථම වරට රැස්වී ඇත්තේ 1866 දීය.
මහා වංශයේ අවසන් කොටසේ සඳහන් වන පරිදි 1865 වර්ෂයේදී මෙරට ආණ්ඩුකාරවරයා ලෙස පත්ව ආවේ සර් හර්කියුලස් රොබර්ට් රොබින්සන් මහතාය. ආණ්ඩුකාරවරයා ළඟ සිටි ප්‍රධානියා වූ ජෝර්ජ් මෝල් මහතා විසින් පිහිටුවන ලද සිලෝන් ලීග් නමැති සංගමය නාගරික සභාවන් ඇති කිරීමේ ප්‍රතිඵලයක් බව එය පෙන්වා දෙයි. ඒ අවස්ථාවේදී කොළඹ මෙන්ම මහනුවර සහ ගාල්ලේ ද නාගරික සභා පිහිටුවීම සිදු කරන ලදී.
ශ්‍රී ලංකාවේ විශාලම නගරය සහ මූල්‍ය මධ්‍යස්ථානය වන අතර, එය කොළඹ නාගරික පාලන ආයතනය ද වෙයි. එමෙන්ම කොළඹ මහ නගර සභාව දකුණු ආසියාවේ පිහිටුවන ලද මුල්ම නගර සභාවලින් එකක් බවටද පත් වී තිබේ.
තේරී පත්වන නගරාධිපතිවරයකුගෙන් සහ මන්ත්‍රීවරු 119 කින් සමන්විත කොළඹ නගර සභාව එහි බලතල 1947 අංක 29 දරන මහ නගර සභා පනතින් ලබාගෙන තිබේ. මෙසේ පාලන බලය ලබාගත් මන්ත්‍රීවරුන්ගේ ධුර කාලය වසර 4කි.
ශ්‍රී ලංකාවේ විශාලතම සහ පැරණිතම පළාත් පාලන අධිකාරිය වන මෙහි දැනට ජනගහනය 752,993 ක් වේ. නගර සභාවේ සේවක සංඛ්‍යාව 12,000 කට අධිකය.
නමුත් මුලින්ම මෙම නගර සභාව පිහිටුවන මොහොතේ එහි සමස්ත ජනගහනය වූයේ 80,000 කි. නගර සභාවේ මුල් වසරේ ආදායම වූයේ ස්ටර්ලින් පවුම් 6,429 කි. 1872 වන විට එය රු: 296,494 දක්වා ඉහළ නැග තිබුණි. මහ නගර සභා පනත ප්‍රථම වරට සිංහලයෙන් ඉදිරිපත් කරන ලද්දේ රණසිංහ ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය සහ නිවාස අමාත්‍යවරයාව සිටියදීය.
1866 දී නොහොත් ආරම්භයේදී එහි ප්‍රධාන ආදායම් මාර්ග බවට පත්ව තිබුණේ පහත සඳහන් ඒවාය.
එනම් තක්සේරු අනුපාත, වාහන සහ සතුන් සඳහා වූ බදු සංක්‍රමණ අනුපාතය, වීදී පාලම් සහ ඇළ මාර්ග ගාස්තු, මස් වෙළෙන්දන්ගේ බලපත්‍ර, වාහකයන්, වයින් සහ සිල්ලර වෙළෙන්දන්, තුවක්කු බලපත්‍ර, පෙරකදෝරුවන්, නීතිඥයින් සහ නොතාරිස්වරුන්ගේ සහතික සඳහා මුද්දර ගාස්තු, වෙළඳපොළ සහ ඝාතකාගාර ගාස්තු, පොලිසිය සහ නාගරික මහෙස්ත්‍රාත්වරුන් විසින් අයකර ගන්නා ලද දඩ මුදල් සහ වෙනත් අයකර ගැනීම් යනාදියයි.
නගරයේ ව්‍යවස්ථාදායක ආයතනය ලෙස නගර සභාව, කොළඹ පුරවැසියන් සහ ඔවුන්ගේ නාගරික රජය අතර සම්බන්ධීකාරකයා ලෙස කටයුතු කරයි. නීති සම්පාදනය කිරීම, නියෝග අණපනත්, ආඥා අණපනත් සහ යෝජනා ඉදිරිපත් කිරීම හරහා නගර සභා කවුන්සලය විසින් කාර්යක්ෂම හා පිරිවැය ඵලදායි සේවා සැපයීම සහතික කරනු ලැබේ. ඒ අතරම නගර සභා වපසරිය තුළ පදිංචිකරුවන්ගේ විවිධ අවශ්‍යතාවයන් ඉටු කිරීමට ද ක්‍රියාකාරිව කටයුතු කරයි.
විවිධ නිලධාරීන් විෂයයන් සඳහා වූ ස්ථාවර කමිටු 16 ක් යටතේ නගර සංවිධානගත වී තිබෙන්නේ පහත සඳහන් ආකාරයෙනි.
මහ නගර සභා ආඥා පනත යටතේ කොළඹ මහ නගර සභාවට තේරී පත් වූ සහ පත් කරන ලද නිලධාරීහු කීපදෙනකු සිටිති. නගරාධිපතිවරයා ඇතුළු ඒ පිරිස මෙසේය.
ඒ නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, නාගරික මහෙස්ත්‍රාත්, නාගරික කොමසාරිස්, නාගරික ලේකම්, නියෝජ්‍ය නාගරික කොමසාරිස්, (ඉංජිනේරු සේවා) නාගරික භාණ්ඩාගාරික, ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී. නාගරික පශූ වෛද්‍ය, නාගරික තක්සේරු නිලධාරී, නාගරික පුස්තකාලයාධිපති, පුණ්‍යායතන කොමසාරිස් සහ ප්‍රධාන ගිනි නිවන නිලධාරී වශයෙනි.
නාගරික පරිපාලනය, නගරාධිපතිවරයා, නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ සහය ඇති නගර සභාවේ ප්‍රධානියාගේ රාජකාරිය ඉටු කරයි. කාර්ය මණ්ඩලය හා මෙහෙයවීම සහ එහි පරිපාලනය නාගරික කොමසාරිස්වරයා අතින් සිදුවෙයි. මෙම පිරිස යටතට අයත් දෙපාර්තමේන්තු ප්‍රමාණය 16 කි. මෙම නාගරික කොමසාරිස්වරයා පත් කරනු ලබන්නේ පළාත් පාලන අමාත්‍යවරයා හෝ එම විෂයභාර අමාත්‍යවරයා විසිනි. සාමාන්‍යයෙන් මෙම නාගරික කොමසාරිස් තනතුර සඳහා පත් කරනු ලබන්නේ පරිපාලන සේවයෙන් අනුයුක්ත කරන ලද නිලධාරියෙකු හෝ නිලධාරිනියකි.
කොමසාරිස් තනතුරෙහි බලතල:-
නගරාධිපති හෝ නියෝජ්‍ය නගරාධිපතිවරයකු නොමැති අවස්ථාවක හෝ කවුන්සලයේ ධුර කාලය අවසන් වීම නිසා, ව්‍යවස්ථානුකූලව එම තනතුර හිස් වූ විට නගර සභාවේ බලතල ක්‍රියාත්මක කිරීම සහ කාර්යයන් සිදු කිරීම කොමසාරිස්වරයා විසින් සිදු කෙරෙනු ලැබෙයි. නාගරික කොමසාරිස්වරයා සඳහා කොළඹ ඇල්බට් ක්‍රෙසන්ට් හි පාර්ක් හවුස් මන්දිරය නිල නිවස සේ භාවිතා කිරීමට බලතල ලැබී ඇති අතර, එය නිදන කාමර 16 කින් සමන්විත විශාල ගෘහයකි.
නාගරික කොමසාරිස්වරයාට අයත් කාර්ය මණ්ඩලය විසින් පරිපාලනය කරනු ලබන දෙපාර්තමේන්තු මෙසේය,
එනම් නගරාධිපති කාර්යාලය, නාගරික භාණ්ඩාගාරික දෙපාර්තමේන්තුව, නාගරික ලේකම් දෙපාර්තමේන්තුව, නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුව, නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, නාගරික පශු වෛද්‍ය දෙපාර්තමේන්තුව, රෝග නිවාරණ දෙපාර්තමේන්තුව, දේශීය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, මහජන පුස්තකාල දෙපාර්තමේන්තුව (කොළඹ මහජන පුස්තකාලය), මහජන සහය දෙපාර්තමේන්තුව, ක්‍රීඩා හා විනෝදාස්වාද දෙපාර්තමේන්තුව, පුහුණු හා සංවර්ධන දෙපාර්තමේන්තුව, නාගරික තක්සේරුකරු දෙපාර්තමේන්තුව, මධ්‍යම ප්‍රසම්පාදන දෙපාර්තමේන්තුව සහ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තු (කොළඹ ගිනි නිවන හමුදාව) යන මේවාය.
ඒවාට ඇති බලතල සහ කාර්යයන් අනුව වාස්තු විද්‍යාත්මක නාගරික සැලසුම්කරණය, අපද්‍රව්‍ය කළමනාකරණය මුල්කරගත් සනීපාරක්ෂාව පිළිබඳ කටයුතු, සෞඛ්‍ය සහ පාරිසරික ගැටලු, පොලිස් සේවා නොවන හදිසි සේවා කටයුතු සමාජ සේවා සහ මාර්ග කළමනාකරණය පිළිබඳව සෘජුවම වගකිව යුතුය.
කොළඹ මහ නගර සභාව කොළඹ සහ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරනු ලබයි.
මහ නගර සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවුරුද්දක් ඇතුළත සාමාන්‍ය රැස්වීම් 12 ක් පැවැත් විය යුතුය. ඒවා සෑම මසකම මුල් සතියේ හෝ නගරාධිපතිවරයා විසින් යථායෝග්‍ය යයි සලකනු ලබන ඊට පසුව හැකි තරම් ළඟම දිනයක පැවැත්විය යුතුය. මීට අමතරව නගරාධිපතිවරයා විසින් උචිත යයි කල්පනා කරනු ලබන කවර හෝ අවස්ථාවක සභාවේ විශේෂ රැස්වීමක් මහ නගර සභා කාර්යාලයේදී පැවැත්වීම සඳහා කැඳවිය හැකිය. එසේම සභිකයින් තිදෙනකු විසින් අත්සන් කරන ලද ලිඛිත ඉල්ලීමක් කළ විට ඒ සඳහා විශේෂ රැස්වීමක් නගරාධිපතිවරයා විසින් කැඳවිය යුතුය.
මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු තවත් කරුණක් වන්නේ නගරාධිපතිවරයා නිල බලයෙන්ම මුදල් පිළිබඳ ස්ථාවර කමිටුවේ සභාපතිවරයා වන බවය.
දේශපාලනික වශයෙන් ගත් කල ගෙවී ගිය සිය වසක කාලය මුළුල්ලේ වැඩි කාලයක් මෙහි ආධිපත්‍යය දරනු ලැබ ඇත්තේ එක්සත් ජාතික පක්ෂය විසිනි. දක්ෂිණාංශික දේශපාලනය කෙරෙහි කොළඹ නගරයෙහි ව්‍යාපාරික ජනතාවගේ වැඩි කැමැත්තක් තිබීම එයට ප්‍රධාන හේතුව ලෙස දේශපාලක විචාරකයෝ පෙන්වා දෙති.
ඒ අතර 1947 සිට මේ දක්වා කාලය අතර වූ විශේෂ සිදුවීම් ත්‍රිත්වයක් ද මෙහිදී පෙන්වා දීමට තිබේ. ඉන් පළමුවැන්න වන්නේ 1954 දී ශ්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂය මගින් එහි බලය අත්පත් කර ගැනීමය. එජාපය පරාජයට පත් කරමින් ලබාගත් එම ජයග්‍රහණයෙන් අනතුරුව එවකට ලංකා සම සමාජ පක්ෂයේ නායකයාව සිටි ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා නගරාධිපති ධුරයට පත් විය.
ඉන් අනතුරුව 2006 වසරේදී මහ නගර සභා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද නාමයෝජනා ලැයිස්තුව තාක්ෂණික දෝෂයක් නිසා ප්‍රතික්ෂේප විය. ඒ හේතුවෙන් වෙනත් ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කරන ලද කොන්දේසි සහිතව එජාපය එම පක්ෂයට සහය පළකරන ලදී. එම කොන්දේසිය වූයේ ඔවුන් ජයග්‍රහණය කළහොත් විටින් විට සිය ආසනවලින් ඉල්ලා අස්වී එජාප අපේක්ෂකයින්ට එම ආසන නැවත ලබා දීමය. එහෙත් ඔවුන් විසින් එම කොන්දේසි ඉටු කිරීම ප්‍රතික්ෂේප කර දිගටම එම තනතුරුවල රැඳී සිටි බව වාර්තා වේ. නගරයේ සාමාන්‍ය ජනතාව අතරින් ඉදිරිපත්ව සිටි උවයිස් මොහොමඩ් මහතා නගරාධිපතිවරයා ලෙස පත් වූයේ ඒ අවස්ථාවේදීය. ඉන් අනතුරුව පසුගිය කාලයේ නගර සභාව විසුරුවා හරින ලද මොහොත වන විට එහි නගරාධිපතිනිය ලෙස කටයුතු කරමින් සිටි රෝසි සේනානායක මහත්මිය එම තනතුර දැරූ ප්‍රථම කාන්තාව ලෙස ඉතිහාසයට එකතු වී සිටින්නීය.
මේ හැරුණු කල ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයට එකතු වූ රාජ්‍ය නායකයින් ගණනාවක්ම සිය දේශපාලන ගමන් මගෙහි අත්පොත් තැබීමට පසුබිම සපයා ඇත්තේ කොළඹ මහ නගර සභාව බව පෙනෙන්න්ට තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන, ඊළඟ විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මෙන්ම එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සහ සම සමාජ පක්ෂයේ නායකයා වූ විවියන් ගුණවර්ධන යන මහත්ම මහත්මින්ද ඔවුන්ගේ දේශපාලන ගමන් මග ආරම්භ කරනු ලැබුවේ කොළඹ නගර සභාව තුළිනි.
කොළඹ නගර සභාවේ පළමුවන නගරාධිපතිවරයා වන්නේ 1937, 1941-1942 සඳහා තේරී පත්වූ ශ්‍රීමත් ආර්. සරවනමුත්තු මහතාය. ඉන් අනතුරුව ආචාර්ය වී.ආර්. ෂොක්මන් (1938-1939), ඒ.ඊ. ගුණසිංහ (1940), ජෝර්ජ් ආර්. ද සිල්වා (1943), ආර්.ඒ.ඩී. මෙල් (1944-1946), ආර්.එස්. ද මෙල් (1945-1948), ආචාර්ය කුමාරරත්නම් (1950), එස්. සෙල්ලමුත්තු (1951), සී.ටී. ග්‍රේරු (1952-1953), ටී.රුද්‍රා (1953-1954), ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ( 1954- 1956), වී.ඒ. සුගතදාස (1956,1957,1963,1965), එච්.එම්. මොහොමඩ් (1960-1962), එම්.වින්සන්ට් පෙරේරා ( 1965,1966,1970,1973) ජබීර් ඒ. කාදර් (1966, 1969), ඒ.එච්.එම්. පවුසි ( 1974-1977), බී. සිරිසේන කුරේ (1979 -1989), එම්. හුසේන් මොහොමඩ් (1989-1991), රත්නසිරි රාජපක්ෂ ( 1991-1994), කේ. ගනේෂලිංගම්( 1996-1997), දේශබන්දු කරු ජයසූරිය (1997- 1999), ඔමාර් කාමිල් (1999-2002), ප්‍රසන්න ගුණවර්ධන (2002-2006), උවයිස් මොහොමඩ් ඉමිතියාස් (2006-2010) ඒ. ජේ. මුසම්මිල් (2011-2016), යන මහත්වරුන් සහ රෝසි සේනානායක මහත්මිය (2016-2023) විසින් කොළඹ මහ නගර සභාවේ මෙම ගරු තනතුර හොබවන ලදහ.
නගර සභාවේ ප්‍රධාන තනතුරු ආරම්භයේදී එනම් 1866 දී හඳුන්වන ලද්දේ සභාපති වශයෙනි. 1986 දී එහි ප්‍රථම සභාපතිවරයා ලෙස චාල්ස් පීටර් ලෙයාර්ඩ් මහතා පත්වී ඇති අතර, එතැන් සිට 1937 මැයි මාසය දක්වා සභාපතිවරුන් 21 දෙනකු මේ සඳහා පත් වී ඇති අතර, ඒ සියල්ලෝම ඉංග්‍රීසි ජාතිකයෝ වූහ.
නගරාධිපතිවරයා නගර සභාවේ ප්‍රධාන විධායකයා වන අතර, ඔහුගේ නිල නිවස “සිරි නිවාස” ලෙස හඳුන්වනු ලැබේ. මහ නගර සභා ආඥා පනතේ විධිවිධාන යටතේ අදාළ ධුර කාලය තුළ සාම විනිසුරු සහ නිල නොවන මහෙස්ත්‍රාත්වරයා ද වෙයි. නගරාධිපති හෝ නියෝජ්‍ය නගරාධිපතිවරයාට නාගරික මහෙස්ත්‍රාත් අධිකරණයේ මුලසුන දැරීමට ද මෙම පනතින් බලය ලබා දී ඇත.
නගරාධිපතිවරයාගේ නිල ඇඳුම වන්නේ රතු පැහැති ලෝගුවකි. නගරාධිපති ධුරයට ඇති වැටුප රු: 30,000 ක් වන අතර, එය ශ්‍රී ලංකාවේ අනෙකුත් සියලු මහ නගර සභාවල නගරාධිපතිවරුන්ට ගෙවන වැටුපට සමානය.
කොළඹ නගරයේ භූගෝලීය පිහිටීම ගැන සලකා බලන විට එය ගොඩබිම මෙන්ම ජලයෙන් ද සමන්විත වූවෙකි. නගරය තුළම බොහෝ ඇළ මාර්ග පිහිටා ඇති අතර, හෙක්ටර්යාර් 65 නොහොත් අක්කර 160ක ධාරිතාවයෙන් යුතු බේරේ වැව පිහිටා ඇත. යටත් විජිතවාදීන් විසින් සියවස් ගණනාවක් තිස්සේ නගරය ආරක්ෂා කිරීම සඳහා මෙය උපයෝගි කර ගන්නා ලදී. අද වන විට මෙහි ජලය අපිරිසිදු තත්ත්වයකට පත්ව ඇති නමුදු, කලකට ඉහතදී එය විදේශීය මෙන්ම දේශීය සංචාරකයින් ද ආකර්ෂණය කරගත් සුන්දර ජලාශයක් විය.
දැනට දශක හතරකට පමණ පෙර මෙහි ඔරුවක නැගී ගමන් ගත් සංචාරකයින් පස්දෙනකු එම යාත්‍රාව පෙරළීම නිසා බේරේ ජලාශයට ඇද වැටී ඇත. එම පිරිසෙන් බේරාගත හැකි වූයේ තුන්දෙනකු පමණි. මහත් ආන්දෝලනයකට තුඩු දුන් මෙම සිද්ධිය එකල ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයක් බවට පත් විය. පස්දෙනාගෙන් තුන් දෙනකු බේරුණු බවත්, දෙදෙනකු දියේ ගිලුණු බවත්, එක්තරා ජාතික පුවත්පතක් විසින් පළ කොට තිබුණේ පොල්ගෙඩි අකුරින් යුත් මෙවැනි හෙඩිමක් සහිතවය. එනම් “දෙකක් බේරේ තුනක් බේරේ” යනුවෙනි. එකල පුවත්පත් කොලු ගැටයින් මෙම හෙඩිම හඬ නඟා කියමින් බස් රථවලට නැග පුවත්පත් විකිණූ අයුරු බොහෝ දෙනකුට මතකය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් ආයතනයක් වන ලේක්හවුස් ආයතනයට එම නම තබා ඇත්තේ ද මෙම විලට මුහුණලා පිහිටීම හේතුකොට ගෙන බව කියවේ. මේ නිසාම ලේක් හවුස් ප්‍රකාශනවලට එරෙහිව පුවත්පත් නිකුත් කළ වාමාංශික පිලේ පත්තරකාරයෝ ලේක් හවුස් ආයතනය හැඳින්වීමට නිරන්තරයෙන් භාවිතා කරනු ලැබුවේ “බේරේ ගෙදර” යන්නය.
නගරයට උතුරෙන් සහ ඊසාන දිගින් ස්වාභාවික මායිමක් සාදමින් කැලණි ගඟ ගලා යන අතර, එම ප්‍රදේශ මෝදර ලෙස හැඳින්වේ. මේ පෙදෙසේ ඇති විශේෂ භූමි භාගයක් ලෙස හඳුන්වාදිය හැකි තැනක් වන්නේ කාක දූපතය. සිංහල සාහිත්‍ය ලෝකයේ මහා උපහාස කතා රචකයා ලෙස විරුදාවලිය ලත් ටී.ජී.ඩබ්ලිව්. ද සිල්වාගේ කෙටි කතාවල නිතරම සඳහන්වීම හැරුණු කල, කාක දූපත තවත් කරුණක් නිසා 2004 දී ප්‍රසිද්ධියට පත්විය. ඒ නම් මුළු කොළඹ ප්‍රදේශයෙන්ම සුනාමියට බිලි වූ එකම භූමි ප්‍රදේශය වශයෙනි. ඒ සුනාමි රළ පහරට ගොදුරුවීම නිසා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක සහ ප්‍රවීණ ගත්කතුවරියක වූ අනුල ද සිල්වා මහත්මියගේ නිවස ද මහාචාර්ය යෝගරාජා මහතාගේ නිවස ද සම්පූර්ණයෙන්ම විනාශ විය.
කොළඹ නගරය ගැන වචන දෙදාහකට අඩු ලිපියක් ලිවිමේ අසීරුභාවය වටහා ගැනීමට හැකි පාඨකයින්ට කොළඹ නගරය තුළ ඇති බොහෝ ඓතිහාසික දේවල් පිළිබඳව නැවත නැවත මතක් කිරීම ද තේරුමක් නැතැයි සිතමි. නමුත් කොළඹ නගරයෙන් ආශ්වාදයක් ලැබීමට කැමැති යම් අයෙකුට එක් හෝඩුවාවක් සපයමි. ඒ නම් සෙනඟ අඩු මොහොතක කැලණිවැලි දුම්රියට ගොඩ වී හෝරාවක පමණ ගමනක යෙදෙන ලෙසය. එය ඔබට කොළඹ නගරයේ මෙතෙක් නුදුටු දසුනක හරස්කඩක් දැක ගැනීමට ඉඩ සලසනු ඇත.
තිස්ස ප්‍රේමසිරි