ඒ ඉන්දියාවේ වේගවත්ම පන්දුවයි

720

පැයට කිලෝ මීටර් 155 ක වේගයකින් යුතු පන්දුවක් යොමු කරමින් ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම පන්දුව යැවීමට ඉන්දීය කණ්ඩායමේ යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක උම්රන් මලික් පෙරේදා සමත් වූයේය.

ශ්‍රී ලංකාව සමඟ වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී එම වාර්තාව පිහිටුවීමට මලික් සමත් වූ අතර ඒ අනුව ඔහු විසින් බිඳ දමන ලද්දේ වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාහ් විසින් තබන ලද වාර්තාවකි.

බුම්රාහ් ඔස්ටේ්‍රලියාවේ ඇඩිලේඩ් ක්‍රීඩාංගණයේදී ඔස්ටේ්‍රලියාවට එරෙහිව 2018 වසරේදී පැයට කිලෝ මීටර 153.36ක වේගයකින් යොමු කළ පන්දුවක් මීට පෙර ඉන්දියානු ක්‍රීඩකයකු යොමු කළ වේගවත්ම පන්දුව ලෙස සටහන් වී තිබිණි. මොහොමඩ් සාමි ද පැයට කිලෝමීටර් 153ක වේගයකින් යුතු පන්දුවක් යොමු කර තිබේ.

මලික් විසින් අදාළ වාර්තාව පිහිටු වූ පන්දුව පෙරේදා තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ 16 වෙනි පන්දුවාරයේ හතරවෙනි පන්දුව වූ අතර ශ්‍රී ලංකා නායක දසුන් ශානක එම පන්දුව හමුවේ දැවී ගියේය.

ශ්‍රී ලංකා නායකයාගේ කඩුල්ල මෙන්ම චරිත් අසලංකගේ කඩුල්ල ද සමග එම තරගයේදී ලකුණු 27 කට කඩුලු දෙකක් දවා ගැනීමට මලික් සමත් වූයේය.

මලික් එම පන්දුව යොමු කිරීමෙන් පසු ශ්‍රී ලංකා නායකයා දවා ගැනීමේ ප්‍රීතිය භුක්ති විඳි අයුරු ඡායාරූපයේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment