කොළඹ වෙසක් කලාප 7ක් දන්සල් 300ක් තොරණ 20ක්

359

වෙසක් තෙමඟුල සැමරීමට කොළඹ මහ නගර සභා සීමාවේ ප්‍රධාන වෙසක් කලාප 7ක්, දන්සල් 300කට අධික සංඛ්‍යාවක් සංවිධානය කරමින් තිබෙන බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රාණි ජයවර්ධන මහත්මිය ‘දිවයින’ට ඊයේ (19දා) පැවසුවාය.

ඒවා ලබන 23 වැනිදා (වෙසක් පෝදා) සිට පැවැත්වෙන බවද ඇය කීවාය.

එසේම, කොළඹ නගර සභා සීමාව ඇතුළුව ඒ අවට තොරණ 20ක් ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු සංවිධානය කරමින් ඇත.

කොළඹ මහ නගර සභාව අසල ‘පූජා’ වෙසක් කලාපය ද, ජනාධිපති ලේකම් කාර්යාලය දෙස සිට හුණුපිටිය ගංගාරාමය දක්වා ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපය ද, කොළඹ බේබෲක් පෙදෙසේ සිරස වෙසක් කලාපය ද, බෞද්ධාලෝක මාවතේ වෙසක් කලාපය ද, කොල්ලුපිටිය වාලුකාරාමයේ වෙසක් කලාපය ද, කොළඹ ගාලුමුවදොර වෙසක් කලාපය ද, පිටකොටුව ආශ්‍රිත වෙසක් කලාපය ද මෙවර වෙසක් කලාප ලෙස නම් කර ඇතැයි ද කොළඹ නාගරික කොමසාරිස්වරිය සඳහන් කළාය.

තොටළඟ තොරණ, කොස්ගස්හන්දිය තොරණ, දෙමටගොඩ තොරණ, පෑලියගොඩ නවලෝක තොරණ, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අසල තොරණ, මාලබේ,

අතුරුගිරිය, තලවතුගොඩ, මහරගම, කොට්ටාව, හෝමාගම ඇතුළු තොරණ 20ක් කොළඹ නගරය හා ඒ අවට ප්‍රදේශවල ලහිලහියේ ඉදිවෙමින් පවතී.

ගිනස් වාර්තාවකට යෑමේ අරමුණින් පානදුර නගරයේ අඩි 82ක් උසැති දැවැන්ත තොරණ ද ඉදිවෙමින් පවතී.

කොළඹ නගර සීමාවේ 23, 24, 25, 26 දිනවල දන්සල් 300ක් සඳහා අවසර ලබාගෙන ඇති බවත්, ඒ අතර බත් දන්සල් 56ක් වන බවත් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛi නිලධාරිනී ගීතිකා රත්නවර්ධන මහත්මිය ‘දිවයින’ට පැවසුවාය.

එම දින 4 තුළ දන්සල් පරීක්‍ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් යොදවන බවද ඇය කීවාය.

වෙසක් සතිය තුළ කොළඹ නගර සභා පරිශ්‍රය විදුලි බුබුළුවලින් අලංකාර කෙරේ.

එසේම කොළඹ මහජන පුස්තකාලය පරිහරණය කරන පාඨකයන්ගේ දායකත්වයෙන් පහන් කූඩු 2000ක් නිර්මාණය කරමින් පවතී. මේ අතර වෙසක් නැරඹීමට කොළඹ නගරයට පැමිණීමේදී ඉවතලන අපද්‍රව්‍ය නගරයේ තබා ඇති කසළ බඳුන් තුළට පමණක් බැහැර කරන ලෙස කොළඹ නාගරික කොමසාරිස්වරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා


advertistmentadvertistment