කෝටි 100කට වඩා වටිනා හොරෙන් ගෙන්වූ සුපිරි රිය 5ක බදු අරගන්න – කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්ට නියෝග කරයි

427

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී ව්‍යාජ ක්‍රම මගින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර භාවිත කරමින් සිටියදී අල්ලස් කොමිෂන් සභාව භාරයට ගෙන තිබූ රුපියල් කෝටි 100කට ආසන්න වටිනාකමක් සහිත අති සුඛෝපභෝගි ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථ පහක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (14 දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

අධිකරණයට තොරතුරු ඉදිරිපත් කොට ලබාගත් අධිකරණ නියෝග මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එකී අති සුඛෝපභෝගී වාහන පහ පසුගිය 5වැනිදා හා 6 වැනිදා ඔවුන්ගේ භාරයට ගෙන තිබිණි. එකී වාහන පහ වහාම ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එකී වාහන සඳහා අය කළ යුතු සියලු බදු මුදල් වහාම අයකර ගන්නා ලෙසට ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියෝග කළේය. වර්තමාන හිමිකරුවන්ගෙන් අයකර ගන්නා ලබන බදු මුදල් පිළිබඳව සවිස්තර වාර්තාවක් තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට වැඩිදුරටත් නියෝග කළේය.

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවූ මෝටර් රථ ඇතුළු වාහන 400කට ආසන්න ප්‍රමාණයක් අනීතික ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඇතුළත් කොට ලියාපදිංචි කර පසුව දත්ත පද්ධතිය මකා දමා ඇති බවට ලැබුණු තොරතුරු අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එකී වාහන අතරින් වාහන 168ක පැවරීම් කටයුතු අත්හිටුවමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට නියෝග කොට තිබිණි.

ඊයේ (14 දා) අධිකරණයට භාරදුන් වාහන පහෙන් නිසි ලෙස බදු අය කර නොගැනීම නිසා රජයට රුපියල් කෝටි 100කට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි විමර්ශන නිලධාරීන් අධිකරණයට වාර්තා කොට තිබිණි. පසුගිය වසර කිහිපය තුළ සිදුවී ඇති එකී මහා පරිමාණ වංචාවෙන් රජයට අවම වශයෙන් රුපියල් බිලියන සියයකට අධික බදු මුදලක් අහිමිවී ඇතැයි ද අනාවරණය වී තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment