මඩකළපු ගිහින් බිරියානියක් කන්න…. සංචාරක ක්‍ෂේත්‍රය විදෙස් විනිමය උල්පතක් කරනවා -ජනපති කියයි

247

ඉදිරි දශකයේ දී රටට විශාල විදේශ විනිමයක් ගෙන එන ක්ෂේත්‍රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ සැලසුම් මේ වන විටත් සකස් කර තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමෙන් ඒක පුද්ගල ආදායම ඉහළ නංවා ගත හැකි බව ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ 06 වැනිදා පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ඉන්දියානු සංචාරක සම්මේලනය අමතමිනි.

සමුළුව අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

ශ්‍රී ලංකාවේ විශාල සංචාරක නිකේතන ඇති කිරීමට අවශ්‍යයි. දෙදුව ප්‍රදේශයට යාබදව, ජලාශ්‍රිත ප්‍රදේශයක අක්කර 1000කට වඩා වැඩි ප්‍රමාණයක් පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයට සුදුසු යැයි අප හඳුනාගෙන තිබෙනවා.

අපි නැගෙනහිර පළාත සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබට එහි මහල් නිවාසයක්, විලා එකක් මිලදී ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා පහසුකම් සැපයීමට අප සූදානම්. ඒ අනුව නැගෙනහිර පළාතේ වෙරළ තීරයේ සුන්දරත්වය විඳ ගත හැකියි.

ඒ වගේම මෙම සංචාරක සැලසුම් ක්‍රියාත්මක කළ හැකි පරිදි නීති වෙනස් කිරීම අවශ්‍යයි. සංචාරක ක්ෂේත්‍රයෙන් ඉහළ ආදායමක් ලැබීමෙන් රටේ ආර්ථිකයට විශාල විදේශ විනියමක් උපයා ගත හැකියි. මෙයයි අප ඉදිරියට යා යුතු මාර්ගය. සංචාරක කර්මාන්තයට අදාළ මෙම සැලසුම් සකස් කළ යුතුව තිබුණේ මීට දශක කිහිපයකට පෙරයි. නමුත් දැන්වත් අප මෙම කටයුතු ආරම්භ කළ යුතුයි.

ඒ වගේම කලාපයක් ලෙස සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට ගත යුතු පියවර මොනවාද යන්න පිළිබඳ අප අවධානය යොමු කර තිබෙනවා. නැගෙනහිර ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ අපට වඩා සංචාරකයන් වැඩියි. ඒ නිසාම අප රටක් හෝ රටවල් කිහිපයක් ලෙස සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය නොකර සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය වීමෙන් වැඩි ඵලදායිතාවක් ලබා ගත හැකියි.

මම ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලට ගොස් තිබෙනවා. එම ප්‍රදේශවලට ආවේණික කෑම වර්ග 60-70ක් අතර බිරියානි වර්ග හැම ප්‍රදේශයකම දක්නට ලැබෙනවා.

අපේ මඩකළපුව ප්‍රදේශයට ගියහොත් විශේෂ බිරියානි වර්ගයක රස විඳීමට ඔබට අවස්ථාව ලැබෙනවා. අපි ඇයි එය අලෙවි නොකරන්නේ? තායිලන්ත ජාතිකයන් ඔවුන්ගේ ආහාර අලෙවි කර ඇති ආකාරය බලන්න. ඉන්දියාවේවත් නැති චිකන් ටික්කා මසාලා තායිලන්තය මාකට් කරනවා. එක් එක් ප්‍රදේශවලට ආවේණික බිරියානි වර්ග සකස් කළ යුතුයි.

අපි බිම්ස්ටෙක් කලාපය විවෘත කළ යුතුයි. ඇයි අපි බෙංගාල බොක්ක මුහුදු ගමන් සඳහා භාවිත නොකරන්නේ? නැගෙනහිර ආසියාවේ, ඉන්දියාවෙන්, අග්නිදිග ආසියාවෙන්, බටහිර ආසියාවෙන්, අප්‍රිකාවෙන් සංචාරකයන් පැමිණෙනවා නම් අපි ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දිය යුතුයි.

අපි අපේ සංචාරක සැලසුම් දැන් ආරම්භ කළොත් තවත් වසර 10ක් ගතවන විට අපට දියුණු සංචාරක කර්මාන්තයක් හිමි වෙනවා.

‘දේශසීමා ඉක්මවා යෑම’ තේමාව යටතේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ආරාධනය මත ඉන්දියාවේ සංචාරක නියෝජිත සම්මේලනය විසින් සංවිධානය කර තිබූ මෙම සමුළුව ජුලි මස 06 වැනිදා සිට 09 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වේ.

ශ්‍රී ලංකාව සංචාරය සඳහා සුරක්ෂිත සහ ආකර්ෂණීය ගමනාන්තයක් බව ලොවට හඳුන්වාදෙමින් පැවැත්වෙන මෙම සම්මේලනයට ඉන්දියානු සංචාරක සම්මේලනයේ සාමාජිකයන් 500 දෙනකු පමණ එක්ව සිටින අතර, එය ආවරණය කිරීම සඳහා ඉන්දියානු මාධ්‍යවේදීන් 50 දෙනකු පමණ සහභාගි වී සිටීම ද විශේෂත්වයකි.

වරාය හා නාවික කටයුතු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, සංචාරක හා ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු, ඉන්දියානු සංචාරක නියෝජිත සංගමයේ සභාපති ජෝති මායල් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment