කෝටි 500 මත්කුඩු තොගයේ මහ මොළකරු රටින් පනින්න හදලා

82

ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

නාවික හමුදාව මගින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 500කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගය මෙරටට රැගෙන ඒමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජාවාරම්කරු හොර රහසේම මාලදිවයිනට පලා යෑමට උත්සාහ කරද්දී කටුනායක ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (25දා) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.

අයිස් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් මෙරටට රැගෙන ආ ජාකොබ් පුතා ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු වන මෙම ජාවාරම්කරු මීගමුව පලඟතුරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් අයිස් කිලෝ 150, හෙරොයින් කිලෝ 50 සහ සැකකරුවෝ හයදෙනා ඊයේ (26දා) පෙරවරුවේ දික්වැල්ල ධීවර වරාය වෙත රැගෙන එනු ලැබූහ.

මෙම ට්‍රෝලර් යාත්‍රාවේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය පාර්සල් 138 සහ හෙරොයින් සහිත පාර්සල් 45ක් නාවික හමුදාව විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදී තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා විසින් ඊයේ පෙරවරුවේ පරීක්‍ෂා කරනු ලැබීය.

මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මීගමුව පලඟතුරේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කරු රටින් පලායන්නට සැලසුම් කර ඇත්තේ හෙරොයින් තොගය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් බව සැලවීමත් සමගය.

සැකකරු හොර රහසේම මාලදිවයින බලා යෑම සඳහා කටුනායක ගුවන්තොටුපළ වෙත පෙරේදා හවස 6.30ට පමණ පැමිණ තිබේ. එමිරේට්ස් ගුවන් යානයකින් එදින රාත්‍රී 8.30ට මාලදිවයින බලා යෑමට සූදානම් වූ සැකකරු ගුවන් සේවා නිෂ්කාශන කටයුතු සියල්ල නිමකර ගුවන්තොටුපළ අවසාන ආරක්ෂක කවුන්ටරය වෙත පැමිණ සිටියදී මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට කොටුවී ඇත.

අත්අඩංගුවට ගත් ජාවාරම්කරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශ මූලස්ථානය වෙත රැගෙන ගිය අතර ඔහු රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කිරීමට කටයුතු කර තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.
හේමන්ත රන්දුණු සහ ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment