ඛනිජ සම්පත් කර්මාන්ත හිමියන් රැසක් රාජ්‍ය භාගය ගෙවා නෑ – සමස්ත ලංකා ඛනිජ සම්පත් ව්‍යවසායකයන්ගේ සම්මේලනයේ අධ්‍යක්ෂ ප්‍රසන්න අධිකාරි

46

රටේ ඛනිජ සම්පත් අයිති මහජනතාවටයි. ඒ නිසා කවුරු කර්මාන්ත කළත් එහි රාජ්‍ය භාගය රජයට හිමිවිය යුතුයි. නමුත් රාජ්‍ය භාගය නොගෙවූ ඛනිජ සම්පත් කර්මාන්ත රැසක් රටේ පවතින බව සමස්ත ලංකා ඛනිජ සම්පත් ව්‍යවසායකයන්ගේ සම්මේලනයේ අධ්‍යක්ෂ ප්‍රසන්න අධිකාරි මහතා පැවසීය.

කොළඹ දී ඊයේ (31 දා) පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

විෂය භාර ඇමැතිවරයත්, ආරක්ෂක ඇමතිවරයත් රටේ මුල් පුරවැසියා ජනාධිපති. හැබැයි ඔහු දන්නෑ මේ කර්මාන්තය සඳහා වෙඩි බෙහෙත් කොච්චර ප්‍රමාණයක් යොදවනවාද කියලා. එහෙම දන්නවනම් අනුරාධපුරේ එක ගල් කොරි ව්‍යාපාරිකයකුට විතරක් ඩෙටනේටර් කූරු විසි හතක් තියාගන්න අයිතියක් නැහැ.

ඒ සම්බන්ධව තියෙන තොරතුරු සියල්ල ආරක්ෂක ලේකම්වරයාට පොලිසියට, මහජන ආරක්ෂක අමාත්‍යවරයාට දැනුම් දීලා තියෙනවා. සහරාන්ලට රටේ විනාශයක් කරන්න ගියේත් ඩෙටනේටර් කූරු හතක් අටක් පමණයි. මේ ඒක කර්මාන්තශාලාවකින් හොයාගත්ත ප්‍රමාණය. කොළ කෑලිවල නිල සංඛ්‍යා ලේඛන තිබුනට ඊට වඩා වැඩිපුර තියෙන්න පුළුවන්. ඒක රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්. ජනතාවගේ ජීවිතවලට තර්ජනයක්. සිද්ධියක් වුණාට පස්සේ විමර්ශන කරනවාට වඩා සිද්ධියක් වෙන්න කලින් මේ පිළිබඳව සොයා බලන්න කියලා අපි ජනාධිපතිවරයාටත් ආරක්ෂක ලේකම්වරයාටත් සාමය පිළිබඳ අමාත්‍යවරයාටත් පොලිස්පතිවරයාටත් කියනවා.

මේ මහපොළවත් එක්ක සම්බන්ධ, ඛනිජත් එක්ක සම්බන්ධ කර්මාන්ත දහස් ගණනක් තියෙනවා. ඔවුන් කර්මාන්ත කළාට ඒ ඛනිජවල අයිතිය මේ රටේ මහපොළොවේ ජීවත් වන ජනතාවටයි. ඒ නිසා ඒකේ රාජ්‍ය භාගය රජයට හිමි විය යුතුයි. අද වෙනකොට වසර ගණනාවක් රාජ්‍ය භාගය නොගෙවූ කර්මාන්ත ඕනෑ තරම් තියෙනවා. ඒවා අය කරගන්න විධිමත් වැඩපිළිවෙලවල් නෑ. එනිසා අපි කියනවා දේශපාලකයන්ට නිලධාරීන්ට ඒ හා සම්බන්ධ ආයතනවල ප්‍රධානීන්ට කරුණාකරලා මේවාට මැදිහත් වෙලා මේ රාජ්‍ය භාගය අරගෙන ඒවා ජනතා සුබ සිද්ධිය සඳහා යොදවන්න කියලා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඡායාරූප – ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment