මැතිවරණ නීති අණපනත් නොහිතා සංවේදී හදවතින් බත් කන ජනතාවක් ලෙස සිතා ගොවීන් දෙස බලා එලබී ඇති මහකන්නය වෙනුවෙන් ගොවීන් හට කඩිනමින් පොහොර සහනාධාරය ලබාදෙන ලෙස රජයෙන් සහ මැතිවරණ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව මැදවච්චිය ගොවීහු පැවැසූහ. ශීත කාමරවල ඉඳිමින් තීන්දු තීරණ නොගෙන මහපොළවේ පයගසමින් ගොවි ජනතාව ශක්තිමත් කිරීමේ ක්‍රමවේදයන් නොපැකිළිව ඉටුකිරීම මේ මොහොතේ රටට අවශ්‍ය බව ඔවුහූ පෙන්වා දුන්හ.
සහන් තිලකරත්න ගොවි මහතා
අපි දැන් මහ කන්නයට සූදානම්. අපිට ඔය ඡන්ද වැඩක් නෑ. මේ රටේ ගොවීන් විදිහට අපි නිසි කලට ගොවිතැන් කටයුතු සිදුකරලා වී අස්වැන්න දුන්නේ නැත්තම් ඔය ශීත කාමරවල ඉඳිමින් තීන්දු තීරණ ගන්න අයට වෙන්නේ පිදුරු කන්න. ඒ නිසා අපි දෙයියන්ගේ නාමෙන් රජයෙන් සහ මැතිවරණ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අපිට නිසි කලට වී ටික, හේනට පොහොර සහනාධාරය ලබා දෙන්න කියන ඉල්ලීම තමයි.
හැබැයි ඒවා දෙන එකට කඹ ඇදලා පරක්කු කරලා පොහොර එවන්න සූදානම් නම් වෙන්න එපා. නිසි කලට පුළුවන්නම් අපට පොහොර දෙන්න. එවිට අපිටත් පුළුවන් ජාතික ආර්ථිකයට සහය වෙන්න.
අජිත් කුමාරසිංහගේ ගොවි මහතා
ගොවියාට නිසිකලට ගොවිතැනට අවශ්‍ය අමුද්‍රව්‍ය ඇතුළු පොහොර ටික සැපයීම රජයේ වගකීමක් කියලයි අපි හිතන්නේ. අපිට අපේ ගොවි තැන තමයි මූලික ජීවනෝපාය වෙලා තිබෙන්නෙ. අපි දැක්කා සමහර පාලකයන් ගොවියන්ට මේ රටේ සලකපු විදිහ. ඒ තුළින් රට වැටිච්ච තැන අපි දැක්කා. අදටත් හාල් ටික රුපියල් 100ට අඩුවෙන් ගන්න බැරි තැනට සහල් පාරිභෝගිකයා වැටිලා තියෙන්නේ.
ඒ නිසා වී ටිකට නිසි මිලක් නෑ අපට කිසිම සහනයක් නෑ එහෙවු රටේ අමාරුවෙන් කරන ගොවි තැනට දෙන්න තියෙන පොහොර ටිකත් කප්පාදු කරන්න එපා කියලා තමයි අපට කියන්න තියෙන්නේ. අදටත් ඔය ලොකු මිනිස්සු සැප විඳින්නේ මේ ගොවීන් දුන්න බත් කාලා කියන එක අමතක කරන්න එපා ඒක රටට අකැපයි.
මැදවච්චිය – ගයාන්