පාඩුව කෝටි හයහමාරක් – විගණනයෙන් කියයි
මාස 10ක් සඳහා ප්‍රමාණවත් අයුරින් පිළිකා රෝගීන්ට ලබාදෙන රිටොක්සි මැබ් නමැති (Rituximab inj’ 500mg) ඖෂධය ගබඩාවල තිබියදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ…
පාලන කාලයේ බාල පිළිකා ඖෂධයක් සාමාන්‍ය මිලට වඩා සියයට 254ක ඉහළ මිලකට ගැනීම හේතුවෙන් රජයට රුපියල් හයකෝටි පනස්තුන් ලක්ෂ පනස්දහස් තුන්සිය හතළිස් දෙකක (65,350,3427) පාඩුවක් සිදුකොට ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙකී එක් එන්නතක් හදිසි මිලදී ගැනීම යටතේ ඇමෙරිකානු ඩොලර් 152ක් වැනි ඉහළ මිලක් යටතේ එන්නත් කුප්පි 2250ක් මිලදී ගෙන ඇත්තේ ප්‍රශ්න සහගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් (Human Immunoglobulin) නමැති ඖෂධ වංචාවට සම්බන්ධ සැපයුම්කාර සමාගමෙන් බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.
එමෙන්ම මෙකී ඖෂධය හදිසි මිලදී ගැනීම යටතේ සම්පාදනය කරගැනීමේ අවශ්‍යතාවක් නොතිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
ගුණත්වය සහ ආරක්ෂාව තහවුරු නොකරන ලද ඖෂධයක් මෙරටට ගෙන්වීම සඳහා මෙකී සමාගම වෙත පිටුබලයක් සපයා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. සමාගම විසින් මෙම එන්නත් තොගය සැපයීමේදී වංචනික ලෙස ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතිකයක් සහ ඉන්දියාවේ නිෂ්පාදකගේ නම ඇතුළත් කරමින් ලේඛන ඉදිරිපත් කර තිබුණි. මෙකී ඖෂධය මිලදී ගැනීමේදී ඇගයීම් කමිටුවට කිසිදු තාක්ෂණික ප්‍රවීණයකු හෝ විශේෂඥ වෛද්‍යවරයකු පත්කර නොතිබුණු බවත් අභිලාෂ කැඳවීමේ ක්‍රියාවලිය භාරව කටයුතු කළ අතිරේක ලේකම්ගේ උපදෙස් අනුව මිල හා තොග ලබාදීමේ කාලසටහන් පිළිබඳව පමණක් නිරීක්ෂණය කර ඇති බවත් විගණන වාර්තාවේ සඳහන් වේ. මෙකී ඖෂධයේ එන්නත් කුප්පි 104ක් රෝගීන් වෙත නිකුත් කොට තිබුණි.
ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි