ප්‍රධාන ලැයිස්තු 23ක් හා ස්වාධීන කණ්ඩායම් පහක නාමයෝජනා ප්‍රතික්ෂේප වෙයි
එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉදිරිපත්ව සිටින සියලුම පක්ෂවල අපේක්‍ෂකයන් සිය නාමයෝජනා පත් භාරදීම පෙරේදා (20 දා) මධ්‍යහ්න 12.00 වනවිට අවසන් කළේය. පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වෙනුවෙන් නාමයෝජනා පත්‍ර 174ක් භාරදී ඇති බව ගම්පහ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා ප්‍රකාශ කළේය.
ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් ප්‍රාදේශීය සභා 12ක්, නගර සභා 05ක් සහ මහ නගර සභා 02ක් සහිතව පළාත් පාලන ආයතන 19ක් සඳහා සභිකයන් පත්කර ගැනීම වෙනුවෙන් මෙම නාමයෝජනා පත්‍ර භාරදීම සිදුකර ඇත.
නාමයෝජනා පත්‍ර භාරදුන් පිළිගත් දේශපාලන පක්ෂ වන්නේ, ජාතික ජනබලවේගය ජනසෙත පෙරමුණ, සමගි ජනබලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් ක්‍රොංග්‍රසය, එක්සත් ජාතික සන්ධානය, පොදුජන එක්සත් පෙරමුණ, ජන අරගල සන්ධානය, සර්වජන බලය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ජාතික ජනතා පක්ෂය, දෙවන පරපුර, දේශප්‍රේමී ජනබලවේගය,
ශ්‍රී ලංකා මහජන පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, එක්සත් ජනතා නිදහස් පෙරමුණ සහ ශ්‍රී ලංකා කම්කරු පක්ෂයයි. මේ අතුරින් පහත සදහන් නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප විය.
නියමිත අපේක්ෂක සංඛ්‍යාව නොමැති වීම නිසා ජාඇල නගර සභාව වෙනුවෙන් එක් ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කරන ලද නාමයෝජනා පත්‍රයත්, ගම්පහ ප්‍රාදේශීය සභාව වෙනුවෙන් සර්වජන බලය පක්ෂය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයත්, තරුණ අපේක්ෂකයන්ගේ වයස සනාථ කිරීමට නොහැකි වීම නිසා මහර ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ හා ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර හා කාන්තා ප්‍රතිශතය නොමැති නිසා ශ්‍රී ලංකා මුස්ලිම් ක්‍රොංග්‍රසය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයත්, වයස සනාථ කිරීමට නියමිත ලේඛන ඉදිරිපත් නොකිරීම නිසා වත්තල මාබෝල නගර සභාව වෙනුවෙන් ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයත්, ජාඇල ප්‍රාදේශීය සභාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය හා දේශප්‍රේමී ජනබලවේගය භාරදුන් නාමයෝජනා පත්‍රයත් ප්‍රතික්ෂේප විය. එසේම මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව වෙනුවෙන් එජාපය, ජාතික නිදහස් පෙරමුණ, එක්සත් ජාතික සන්ධානය භාරදුන් නාමයෝජනා ප්‍රතික්ෂේප විය. කැලණිය ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් ක්‍රොංග්‍රස් පක්ෂය දුන් නාමයෝජනාව, අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සඳහා භාරදුන් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නාමයෝජනා ප්‍රතික්ෂේප විය.
ගම්පහ මහ නගර සභාව සඳහා නාමයෝජනා භාරදුන් ජනසෙත පෙරමුණ හා සර්වජන බලය පක්ෂයේ නාමයෝජනා සහ මීගමුව මහ නගර සභාව සඳහා එජාපය, සර්වජන බලය හා ස්වාධීන කණ්ඩායම් 02ක නාමයෝජනා ප්‍රතික්ෂේප විය.
බියගම ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ශ්‍රී ලංකා කම්කරු පක්ෂය, එක්සත් ජනතා නිදහස් පෙරමුණ ලබාදුන් නාමයෝජනාද ප්‍රතික්ෂේප විය.
දොම්පෙ ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ලබාදුන් එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික සන්ධානය, සර්වජන බලය, දෙවැනි පරපුර සහ එක් ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා ප්‍රතික්ෂේප විය.
මේ අනුව ප්‍රධාන ලැයිස්තු 23ක් හා ස්වාධීන කණ්ඩායම් 05ක නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇත.
කැලණිය – මංගලා මදුරප්පෙරුම