ගල්කිස්සේදී වෙඩි: තරුණයෙක් මරුට – පොලිසියටත් වෙඩි තබන්න ගිය වෙඩික්කරු විනාඩි පහෙන් මාට්ටු

244

ගල්කිස්ස පොලිස් වසමේ සිරිපාල පාරේදී යතුරුපැදියකින් පැමිණ තරුණයකුට වෙඩි තබා පලායමින් සිටි ප්‍රධාන සැකකරු විනාඩි පහක පමණ කාලයක් තුළ ගිනිඅවිය ද සමග අත්අඩංගුවට ගැනීමට දෙහිවල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (19දා) දහවල් සමත් වී තිබිණි. මෙම ඝාතනය බඩෝවිට ප්‍රදේශයේ පාතාල කණ්ඩායම් දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලිසිය සැකකරයි.

වෙඩි වැදීමෙන් මියගිය තරුණයා බඩෝවිට පදිංචි තරුෂ විජේරත්න නමැති 24 හැවිරිදි අයෙකි. ඔහු සිය පෙම්වතිය සමග ත්‍රිරෝද රථයකින් සිරිපාල පාරේ මුහුදු වෙරළ දෙසට යෑමට රථය නතර කරන විටම පිටුපසින් යතුරුපැදියක පැමිණි දෙදෙනාගෙන් අයකු තරුණයාට වෙඩි තබා එම යතුරුපැදියෙන්ම පලාගොස් ඇත.

සැකකරුවන් පලාගිය මාර්ගයේ දෙහිවල පොලිසියේ ජංගම රථය කවුඩාන ප්‍රදේශයේ නවතාගෙන සිට ඇත. එම අවස්ථාවේ සැකකටයුතු ලෙස අධික වේගයෙන් පැමිණි යතුරුපැදිය නතර කරන ලෙස පොලිස් නිලධාරීන් අණ කර ඇත. එහිදී යතුරුපැදිය නතර කර පිටුපස සිටි 47 හැවිරිදි පුද්ගලයා බිමට බැස සඟවාගෙන සිටි මිලිමීටර් 09 වර්ගයේ ගිනිඅවියෙන් පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සාහ කර තිබේ. එම අවස්ථාවේ එම ගිනිඅවිය ක්‍රියාත්මක වී නොමැති අතර පොලිසිය ගිනිඅවිය සම උණ්ඩ 13ක් සමග එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යෑමේදී යතුරුපැදිය පදවාගෙන පැමිණි අනෙක් සැකකරු යතුරුපැදියෙන්ම පලාගොස් ඇත.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ බඩෝවිට කොස් මල්ලිගේ පාර්ශ්වයේ අයකු බවටත් වෙඩි තැබීම සිදුකර ඇත්තේ බඩෝවිට අසංකගේ පාර්ශ්වයේ අය බවටත් පොලිසිය සැකකරයි. මීට පෙරද මෙම දෙපාර්ශ්වයේ කිහිපදෙනකු ඝාතනය වී තිබූ බවට වාර්තා විය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රහක්මණ මහතාගේ උපදෙස් මත දෙහිවල පොලිස් ස්ථානාධිපති අනුරාධ හේරත් මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර දකුණ කොට්ඨාසයට භාරදීමට නියමිතව තිබුණි.
හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා, පින්සිරි ආරියරත්න – රත්මලාන, එස්.ඩී. අබේසිංහ – මහරගම


advertistmentadvertistment