මුහුදෙ මාළු වඳ කරන ප්‍රධාන පන්න ක්‍රමයක් බල්ලො දැල…

වසර දහස් ගාණක් පැරැණි කොරල්පරත් විනාශ කරනවා…

ගල් මාළු ඉල්ලුම වැඩි වෙනකොට බල්ලො දැල්කාරයන්ගෙ හොද්ද බොරයි…

විනාශකාරී පන්න ක්‍රමවලින් මුහුදට වෙන හානිය නිලධාරීන්ට කිව්වට ඵලක් නෑ…

සමහර ධීවරයෝ හිතන්නෙ මාළු අස්වැන්න විතරයි රැකියාවේ පැවැත්ම ගැන වගක් නෑ…

මෙරට ධීවර කර්මාන්තයේ ආරම්භය සිදුව ඇත්තේ මීගමුව වෙරළ තීරයෙන් බව වාර්තා වේ. එසේ උපත ලද ධීවර කර්මාන්තය කෙටි කාලයක් තුළ මීගමුව වෙරළ තීරය ඔස්සේ පුත්තලම දක්වා ව්‍යාප්ත වී ඇති බවද සැබෑය. ඔරු, පාරු, තෙප්පම්වලට නැඟුණු ධීවරයන් කලපුව, නොගැඹුරු මුහුදේ පාවී ගොස් බිලී පිති, මාදැල් භාවිතයෙන් මසුන් මැරීම සිදු කර තිබේ. එය හොඳ ආදායම් මාර්ගයක් බව පෙනෙනවිට, රට වට කර මහ මුහුද වටා ජීවත් වූ මිනිසුන් මසුන් මැරීම රස්සාව කරගෙන තිබේ. පාරුවෙන්, ඔරුවෙන් එන්ජින් බෝට්ටුවට මාරු වූ ධීවරයන් වැඩි, වැඩියෙන් මසුන් මැරීමට විවිධ ක්‍රම, උපායන් සොයාගෙන තිබේ. විවිධ දැල් ආම්පන්න නිෂ්පාදනය කරගෙන තිබේ. එම දැල් අතර ‘බල්ලො දැල’ මහ මුහුදෙ කොරල්පර කාබාසිනියා කරන මාළු සමූල ඝාතනය කරන විනාශකාරී දැලකි.

පතුල පහුරු ගා ගල් මල් කුඩු කර මාළු සමූල ඝාතනය කරන බල්ලො දැල

මුහුදු පතුල පහුරු ගාමින්, කොරල්පර කුඩු කරන බල්ල පන්න ක්‍රමයේ විනාශය ගැන අපට කීවේ ද ධීවර කර්මාන්තය උපන් යැයි කියන වෙන්නප්පුව ආසන්නයේ මාරවිල, මෝදර වැල්ලේ ධීවරයෝය. ඔවුන් පවසන ආකාරයට රට වටා මුහුදුකරයේ ජීවත්වන ඇතැම් ධීවරයන් බල්ල පන්න ක්‍රමය භාවිත කරමින් මසුන් මරති. විශේෂයෙන්ම බල්ලො දැල භාවිත කරනුයේ කොරල්පර, ගල්පර ඇසුරෙහි ජීවත්වන ගල් මාළු ඇල්ලීමට බව ද ඔව්හු පැවසූහ. අනන්‍යතාවය හෙළි කිරීම වැල්ලෙ රණ්ඩුවකට මුල පිරීමක් හෙයින් ඔවුන්ගේ හඬ පමණක් වචන කිරීමට අපි අදහස් කළෙමු.

“බල්ලො දැල කියන්නෙ බිම අතුරන දැලක්. ඒ දැල හදන්නෙ ලොකු ඇස්, සාමාන්‍ය ඇස් පොඩි ඇස් සහිත දැල් තුනක් එකට සම්බන්ධ කරලා. ඒක දැලේ තට්ටු තුනක්. දැල අඩි නවයක් විතර උසයි. කිලෝ මීටර් 2ක් 3ක් ඈතට දිගයි. දැලේ එල්ලලා තියෙන බරුවල බරට පොළොව මත දැල වැතිරෙනවා. දැල අදිනකොට පතුල හූරගෙන එන්නෙ. බල්ලො දැලට කොටු වුණාට පස්සෙ කිසිම මාළුවෙක්ට ගැලවීමක් නෑ. චූටි පැටියා පවා දැලට ඇමිණෙනවා. ඒ වගේම සමහර ධීවරයෝ හැන්දෑවට ගිහින් දැල එළලා එනවා. උදේට ගිහින් උස්සනකොට එළපු හැටියේ පැටළුණු මාළු කුණු වෙලා. ඒ වගේම ගල් මාළු රංචු පිටින් ගැවසෙන ගල් ආශ්‍රිත වගේම ගල් මල්වලට උඩිනුත් බල්ලො දැල එළනවා. මාළු පැටලිලා, ගල් මල්වලත් දැල පැටලිලා ගන්න බැරි වුණාම බෝට්ටුවේ ගැටගහලා එන්ජිම පණ ගන්වලා දැල අඳිනවා. එතකොට ගල් මල් කුඩු කරගෙන දැල උඩට එනවා. මාළු ටික බෝට්ටුවට පටවගෙන දැලේ පැටලිලා තියෙන ගල් මල් කෑලි ටික ගලවලා මුහුදට විසි කරනවා. මේක අද ඊයේ පටන් ගත්ත පන්න ක්‍රමයක් නෙමෙයි, කාලයක ඉඳලා කරගෙන එන පන්න ක්‍රමයක්. ගල් මාළුවලට තියෙන ඉල්ලුම වැඩි වෙනකොට ගල්පර, ගල් මල් ආශ්‍රිතව බල්ලො දැල එළීමත් වැඩි වෙලා තියෙනවා. මේ පන්න ක්‍රමයෙන් මුහුදට කරන හානිය බලාගෙන ඉන්න බැරි තැන බල්ලො දැල්කාරයන් එක්ක ආරවුල් ඇති කරගෙනත් තියෙනවා. බල්ලො දැල භාවිත කරන අය ගැන නම් වශයෙන් අදාළ නිලධාරීන්ට දැනුම් දීලත් තියෙනවා. රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරලා මුහුදුකරය වටා ධීවරයන් ළඟ තියෙන බල්ලො දැල් ටික එකතු කරලා, මේ පන්න ක්‍රම භාවිත කරන අයව අත්අඩංගුවට අරගෙන උසාවි දාලා උහුලගන්න බැරි දඩයක් ගහලා හෝ ටික කාලයකට හිරේ යැව්වා නම් මේ පන්න භාවිතය නතර වෙනවා. ඒත් අපි හිතන විදිහට රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ. මුහුදට හෙණ ගැහුවත් අදාළ නිලධාරීන්ට වගක් නෑ. මුහුදෙ ආරක්‍ෂාවට ඉන්න නාවික හාමුදාව පවා විනාශකාරී පන්න ක්‍රම භාවිතය නතර කරන්න කටයුතු කරන්නෙ නෑ. මුහුද ආරක්‍ෂා කරන සමහර නිලධාරීන් තහනම් පන්න ක්‍රම භාවිත කරන ධීවරයොත් එක්ක ඩීල් දාගෙන මුදල් ගරනවා. ඒ ධීවරයෝ කෝටි ගාණක මාළු මරනකොට ඒ නිලධාරීන්ට ලක්‍ෂයක්, දෙකක් අත මීට මොළවනවා. බලධාරීන් බලන්නෙත් මාළු අපනයනයෙන් ලැබෙන ඩොලර් ආදායමයි, පිටරටින් මාළු ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීමෙන් ලැබෙන ආදායම ගැනයි විතරයි. ධීවර කර්මාන්තයට තියෙන නියාමනයන් ගැන නිවැරැදි නිරීක්‍ෂණයක් නෑ. මුහුදට සිදුවන නස්පැත්තියේ වේදනාව තියෙන්නෙ මහ මුහුදෙන් යැපෙන අපිට විතරයි…” දරු පවුල් ජීවත් කරවීමට මුහුදත් සමග ඔට්ටු වෙන ධීවරයන්ගේ පීඩිත හඬ වෙරළෙ හැපුණු රළ මෙන් බිඳී ගියේය. නැවත අපි හඬ ඉස්මතු කළෙමු.

වෙරළේ සිට කිලෝ මීටර් 20ක් පමණ දියඹට ගොඩ මුහුදය. ඉන් ඔබ්බට ගැඹුරු මුහුදය.

ගොඩ මුහුදේ ගල්පර, කොරල්පර වාසභූමි කරගෙන විශාල මාළු විශේෂ ජීවත් වෙති. පරව්, කුම්බලාවා, සාලයා, හුරුල්ලෝ, ජීලාවා වැනි සංක්‍රමණික මසුන් ද තාවකාලිකව කොරල්පර ආශ්‍රිතව ජීවත් වෙති. විවිධ කාලගුණ තත්ත්වයන් සමග ගැඹුරු මුහුදේ ජීවත්වන බලයා, කෙළවල්ලා, කොප්පොරු, සප්පරු, තෝරු, මෝරු ද ගොඩ මුහුදේ ගල්පර, කොරල්පර අතරට පැමිණෙති. ගොඩ මුහුදේ කොරල්පර, ගල්පර ආශ්‍රිතව බහුල වශයෙන් මාළු බිත්තර දමන බව ද සැබෑය. එහෙයින් මහ සාගරයේ බහුල වශයෙන් මාළු බෝවීමේ මධ්‍යස්ථාන ලෙස කොරල්පර, ගල්පර හඳුන්වා දියහැකිය. එමෙන්ම මෙරට මීගමුව මුහුදු තීරයේ මාළු බෝවීම ඉතා වැඩි බව ද ධීවරයන්ගේ අදහසය. එම මුහුදු තීරයේ ගල්පර ආශ්‍රිතව ජීවත්වන ගල් මාළු ඇල්ලීමට ද ප්‍රසිද්ධය. මීගමුවේ සිට කල්පිටිය දක්වා මුහුදේ බල්ලො දැල් එළීම පමණක් ම රස්සාව කරගත් ධීවරයන් සිටින බව වාර්තා වේ. ඔවුන් රැගෙන එන ගල් මාළුවලට මෙරට සංචාරක හෝටල්වලින් ඉහළ වටිනාකමක් ලබාදෙන බව ද සැබෑය. ගල් මාළුවලට ඉහළ වටිනාකමක් ලැබෙන නිසා මීගමුව මුහුදු තීරයේ පමණක් නොව, රට වට කර වැල්ලකරයේ බල්ලො දැල්කාරයන්ගේ ‘බලු වැඩ’ ද වැඩි වී තිබේ. අද ලැබෙන වාසිය ගැන පමණක් සිතමින් කොරල්පරවල වටිනාකම, මාළු වඳවී යෑම ගැන වගක් නැතිව මත්ස්‍ය වාසස්ථාන කුඩු පට්ටම් කරමින්, බිත්තර චප්ප කරමින්, පුංචි පැටියගේ සිට මාළු සමූල ඝාතනය කරති. පවුල් පිටින් මරා දමන යුද පිටිවල මසුන් පමණක් නොව, කිසිදු සත්වයෙක් ජීවත්වීමට කැමැති නැත. එහෙයින් ගල්පර, කොරල්පර ආශ්‍රිතව ජීවත් වූ මසුන් සුරක්‍ෂිත වාසස්ථාන සොයාගෙන යති. සංක්‍රමණික මසුන් තාවකාලිකව හෝ ජීවත්වීමට ගල්පර ඇසුරට නොයෙති.

“ඉස්සර මේ මුහුදු තීරයේ ගල්පර අතර විවිධාකාර මාළු ජීවත් වුණා. දැන් ඒ සමහර මාළු වර්ග දකින්න නෑ. ඒ මාළු වඳවීමට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නෙ බල්ලො දැල් භාවිතය වගේම විනාශකාරී වෙනත් පන්නකම. දැලක් නිර්මාණය කරන්න ඕන යම් ප්‍රමාණයක මාළු ඉලක්ක කරගෙන. බල්ලො දැලේ ඇස් ප්‍රමාණ තුනකින් තියෙන නිසා මාළු පැටියගේ ඉඳලා මහා එකා දක්වා පැටළෙනවා. අපිත් දැල් ගහනවා. ඒත් මේ වගේ හානිකර දැල් ගහන්නෙ නෑ. ඒ වගේම අපිත් ගල් මාළු අල්ලනවා. ඒ බිලී පිත්තෙන්. වරුවක් මහන්සි වුණොත් කිලෝ හත, අටක් අල්ලගන්න පුළුවන්. නැති නම් තනි ඇහේ දැලක් එළනවා. ලොකු ගල් මාළු කිහිපදෙනෙක් පැටළෙනවා. හොඳ මිලක් ලැබුණොත් දවස ජීවත් වෙන්න ඒ මාළු අස්වැන්න ඇති. ගල් මාළු සංක්‍රමණික මාළුවෙක් නෙමෙයි. වර්ගයා බෝ කරන්නෙ, මැරෙනකම් ජීවත් වෙන්නෙ එකම ගල් පරය තුළ. ඒ නිසා පරිස්සමට ගල් මාළු ඇල්ලීම කළොත් වර්ෂය පුරා අස්වැන්න තියෙනවා. බල්ලො දැල, ලයිල දැල වගේ මාළු සමූල ඝාතනය කරන දැල් භාවිත කරන්නෙ ඉක්මනට කෝටිපතියො වෙන්න දඟලන ධීවරයෝ. ඒ වගේම ඒ දැල් භාවිතය නිසා තමයි මහ විශාලයට හැදෙන පරව්, බලයා, කෙළවල්ලා පැටව් කාලයේ දීම මාළු ලෑල්ලට එන්නේ. කරවලවලට වේළෙන්නේ. මේවා මහ අපරාධ. ඒත් අපි වගේ හැම ධීවරයෙක්ම හිතන්නෙ නෑ. අද කාලේ ඉන්න සමහර ධීවරයන්ට මේ රස්සාව ගැන කිසිම අවබෝධයක් නෑ. මේ වෙරළ ආරක්‍ෂා වෙලා තියෙන්නෙත් මුහුදෙ තියෙන ගල්පර, කොරල්පර නිසයි. නැති නම් මහ මුහුදෙන් නැඟෙන විශාල රළ ගෙඩි අපේ ගෙවල් දොරවලුත් මුහුදට ඇදගෙන යනවා. මුහුදෙ තියෙන ගල් පරවල වැදිලා තමයි රළ ගෙඩිවල වේගය අඩු වෙන්නේ. අපේ රටේ වාසනාවට තමයි ගොඩ මුහුද වටේට ම ගල්පර පිහිටලා තියෙන්නේ. සුනාමියේ බලපෑම අඩු වුණෙත් ගල්පරවල වැදිලා රළ පහරෙ වේගය අඩු වුණු නිසයි. රට වටේට සුන්දර වෙරළ තීරයන් නිර්මාණය වෙලා තියෙන්නෙ ගොඩ මුහුදේ ගල්පර නිසයි. ඒ වගේම දැල්වල පැටලිලා කොරල්පර කැඩුණ ම ඒ කොරල් මැරිලා විනාශ වෙනවා. මීගමුව මුහුදු තීරයේ තියෙන ගොඩක්ම කොරල්පර දැන් මැරිලා. බල්ලො දැල තහනම් නොකරන්න මුහුදේ කොරල්පරත් විනාශ කරලා ඒ තුළ ජීවත් වෙච්ච මාළුත් වඳ කර දාලා මුහුදට මහ විනාශයක් කරනවා…” තම දරු පවුල් ජීවත් කරවන මුහුදට, ධීවර රස්සාවට ආදරය කරන කෝටිපති සිහින නොදකින මෝදර වැල්ලේ ධීවරයන් පැවසූ ඒ කතා මගේ හදවතේ පතුල ස්පර්ශ කළේය. රට වට කර මුහුදේ කොරල්පර විනාශ වී විදුලි වේගයෙන් පැමිණෙන රළ ගෙඩි වෙරළ බිඳගෙන මුහුදට දිවෙන භයංකර චිත්‍ර රූප මනසේ ඇඳෙමින් හොල්මන් කරන්නට විය. ඒ සිතුවිලිවලින් තිගැස්සුණු මම රුහුණ විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ටර්නී ප්‍රදීප් කුමාර මහතාට දුරකථන ඇමතුමක් ලබාගෙන කොරල්පර විනාශයේ අනිසි ප්‍රතිඵල ගැන සාකච්ඡා කළෙමි.

ඔහු පවසන ආකාරයට වේයා තුඹසක් හදන ආකාරයට අතිශය කුඩා මත්ස්‍යයෙක් වසර ගණනාවක් නිර්මාණය කරන කොරල්පරයක ආයු කාලය වසර මිලියන ගණනකි. බොහෝවිට අලුතින් කොරල්පරයක් නිර්මාණය වෙන්නේ ද මිය ගිය පැරැණි කොරල්පර මතය. එසේ නිර්මාණය වන කොරල්පර මහ සාගරයේ පිහිටා ඇත්තේ දශම 5%ක් වැනි කුඩා මුහුදු සීමාවක් තුළය. එහෙත් මහ මුහුදේ ජීවත්වන සත්වයන්ගෙන් 25%ක් පමණ ජීවත්වනුයේ කොරල්පර ආශ්‍රිතවය. විවිධ මත්ස්‍ය විශේෂ බිත්තර දැමීමේ සිට කුඩා කාලය ආරක්‍ෂිතව වැඩෙනුයේ කොරල්පර සහිත මුහුදු පරිසරය තුළය. එමෙන්ම ගෝලීය උෂ්ණත්වයට බලපාන කාබන්ඩයොක්සයිඩ් උරාගන්නා ස්ථානයක් ලෙස ද කොරල්පර විශේෂය. දේශගුණ විපර්යාස අවම කිරීමට කොරල්පර සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බව ද සැබෑය. වෙරළ කලාපයට සමාන්තර වේදිකාවක් සේ නිර්මාණය වී තිබෙන කොරල්පර දියඹෙන් පැමිණෙන රළ ගෙඩිවල තීව්‍ර බව පාලනය කර වෙරළ ඛාදනය අවම කිරීමට ද ඉවහල් වේ. ලෝකයේ බොහෝ රටවල කොරල්පර සහිත මුහුදු කලාප සංචාරකයන්ගේ පරාදීසයන් බවට පත් වී ඇත්තේ එහි ඇති විසිතුරු බව නිසාය. එමෙන්ම ඇතැම් රටවල මෙන්ම මෙරට යාපනය, කයිට්ස් දූපත්හි ගොඩනැඟිලි, තාප්ප, සොහොන් නිර්මාණය කිරීමට ද කොරල් ගල් භාවිත කර තිබේ. අදට ද ගොඩනැඟිලි නිර්මාණයට කොරල් ගල් භාවිත කරනු ලැබේ. හුණු ගල් කර්මාන්තයට ද ප්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙස කොරල්පර භාවිත කරනු ලැබේ. විශේෂයෙන්ම වර්තමානයේ දී ලෝකයේ ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය බොහෝමයක් සොයාගනු ලබන්නේ කොරල්පර සහිත මුහුදු කලාපවලින් සහ ඒ ඇසුරෙහි ජීවත්වන විවිධ මත්ස්‍ය විශේෂවලිනි. එකී අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරනුයේ ද හදවත් රෝග, පිළිකා, චර්ම රෝග ආදී බරපතළ රෝගී තත්ත්වයන්ට ලබාදෙන ඖෂධ වර්ග බව ද වාර්තා වේ.

එමෙන්ම මෙරට මුහුද වටා ද කොරල්පර සහිත මුහුදු කාලප බොහෝමයකි. උතුරු පළාතේ යාපනයේ දූපත් ආශ්‍රිතව මෙන්ම සිලාවතුර ඇතුළු ප්‍රදේශ රාශියක කොරල්පර සහිත වෙරළ කලාප පිහිටා තිබේ. නැඟෙනහිර මඩකලපුවේ පාසිකුඩා, කල්කුඩා, අරිප්පු, වන්කාලේ මාබල් බීච් ඇතුළු කොරල්පර සහිත මුහුදු කලාප බොහොමයකි. දකුණු මුහුදු තීරයේ මිරිස්ස, තංගල්ල, පොල්හේන, උණවටුන සහ හික්කඩුව ආදී ප්‍රදේශවල කොරල්පර සහිත සුන්දර වෙරළ තීරයන් බොහෝමයක් පිහිටා තිබේ. මීගමුව සිට කල්පිටිය දක්වා මුහුදු තීරයේ ද අතරින්, පතර කොරල්පර සහිත මුහුදු කලාප හමුවේ. මෙරට මුහුදේ අපට දැකගැනීමට තිබෙන ජීවයක් සහිත කොරල්පරවල ආයු කාලය වසර 1000ක් 1500ක් පමණ වේ. මෙරට මුහුදේ බොහෝ කොරල්පර මිය ගොස් තිබීම ද විශේෂත්වයකි. එමෙන්ම මුහුදේ ඈතට වන්නට තිබෙන කොරල්පර සංචාරකයන්ට දැකගැනීමට අපහසුයි. එහෙත් එම කොරල්පර මාළු බෝ කිරීමේ වගා බිම් ය. ගල් මාළු, බූවල්ලෝ, දැල්ලෝ, ඉස්සෝ, කකුළුවෝ ඇතුළු හඳුනාගත් සහ හඳුනානොගත් මත්ස්‍ය විශේෂ අතිවිශාල සංඛ්‍යාවක් කොරල්පර ආශ්‍රිතව ජීවත් වෙන බව සැබෑය.

බල්ලො දැල් වැනි විනාශකාරී පන්න ක්‍රම භාවිතය, ඩයිනමයිඩ් ගැසීම, කොරල්පර මත ඇවිඳීම, කොරල්පර සහිත මුහුදු කලාපවලට පොලිතීන් ඇතුළු අපද්‍රව්‍ය මුදාහැරීම වැනි මිනිස් ක්‍රියාකාරකම් සමග මත්ස්‍ය විශේෂ පමණක් නොව, වසර මිලියන ගණන් පැරැණි කොරල්පර සහිත අති දුර්ලභ මුහුදු පරිසර පද්ධති සම්පූර්ණයෙන් විනාශ වී යන්නේය. එහෙයින් මෙවැනි විනාශකාරී පන්න ක්‍රම තහනම් කිරීමට රජය ප්‍රමාද නොවිය යුතුය. ඇතැම් ධීවරයන්ගේ කෙටි කාලීන වාසියට, දීර්ඝ කාලීනව වන හානිය අතිශය භායානකය. එහෙයින් ඇතැම් ධීවරයන් මාළු මැරීමට භාවිත කරන බල්ලො දැල් වැනි විනාශකාරී බලු වැඩ නතර කළ යුතුය. එසේ නොවෙන්න පිරිසකගේ බලුවැඩ නිසා මුළු රටේ ම ජනතාවට වන්දි ගෙවීමට සිදුවන දිනය වැඩි ඈතකට නොයනු ඇත.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment