ජැක්සන් ඇන්තනි ගැන පසු කියැවීමක්

ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයේ ගායනවේදීන්ගේ නාමලේඛනයට සාමාන්‍යයෙන් ජැක්සන් ඇන්තනි නම් වූ පුද්ගල නාමය අයත් කෙරෙන සම්ප්‍රදායක් අපට තිබී නැත. එසේ ද වුවත්, නන්විධ ක්ෂේත්‍රයන්හි පාරප්‍රාප්ත බහුශ්‍රතයකු වන, ජැක්සන් ඇන්තනී ශ්‍රී ලාංකික ගායන වංශයෙහිලා සුවිශේෂ ව්‍යතිරේඛයක් ලෙස සලකනු මනා ය. ශාස්ත්‍රාලයීය වශයෙන් ලද සුවිශේෂ සංගීත අධ්‍යාපනයක් නොමැති වුව ද, ශ්‍රී ලාංකික ගායනවේදීන් ගේ පරපුරේ නාමලේඛනයට ජැක්සන් ඇන්තනි නාමය ද ඇතුළත් කළ හැකි බහුශාබ්දිකතාවක් ඔහුට තිබෙන බව සියුම් ලෙස නිරීක්ෂණය කරන විට පෙනී යයි.

මෙබඳු සුවිශේෂත්වයක් මීට පෙර අප දුටුවේ ශ්‍රී ලාංකික ගීත සහ ගායන ක්ෂේත්‍රයට දශක ගණනක් තිස්සේ ප්‍රාමාණික මෙහෙවරක් ඉෂ්ඨ සිද්ධ කර තිබෙන ටී. එම්. ජයරත්න, නීලා වික්‍රමසිංහ සහ මාලිනී බුලත්සිංහල වැනි ප්‍රවීණයන් ගෙන් පමණි. එසේ වුවත්, ජැක්සන් ඇන්තනිගේ ගායන කලා කුසලතාවෙහි ද එකී විශේෂ ප්‍රාගුණ්‍යය විද්‍යාමාන වන්නේ ය. අපගේ අදහස මේ පිළිබඳව ශ්‍රී ලාංකික සංගීත කලා මාධ්‍යයෙහි නිරත විද්වතුන්ගේ නොමඳ අවධානය ලක් කර, ජැක්සන් ඇන්තනි උදෙසා සාධාරණ ජාතික විනිශ්චයක් ලබාදිය යුතු බවයි. ඊට හේතුව ජැක්සන් ඇන්තනි යනු, ඉතා කලාතුරකින් ඕනෑම ජාතියකට පහළවිය හැකි පුද්ගල සංස්කෘතික වත්කමක් හෙවත් වස්තුවක් වන නිසා ය. ප්‍රවීණ රූපණකලාවේදී ජැක්සන් ඇන්තනි, හදිසියේ අභාවප්‍රාප්ත වන විට, එතෙක් ඔහු විසින් විවිධ ක්ෂේත්‍ර අලලා දිනා ගන්නා ලද බහුවිධ ජාතික සම්මානවලිය 50 ඉක්මවා තිබිණි. මේ නිසා ඔහු නිමග්න වූ සකලවිධ කලා ක්ෂේත්‍රවල යථා ස්වභාවය ප්‍රතිවිමර්ශනාවලෝකනයකට ලක්කිරීම මෙරට විද්වතුන් හට පැවරෙන පැහැර හැරිය නොහැකි සමාජ වගකීමකි.

ඊට වඩාත් හේතුයුක්ත වන්නේ කතෝලික භක්තිකයකු වුව ද, ජැක්සන් ඇන්තනි නූතන සිංහල කලා ක්ෂේත්‍රයට සම්ප්‍රාප්ත වන්නේ බෞද්ධ උරුමයෙන් සහ සංස්කෘතියෙන් පෝෂිත ලාංකික ජනශ්‍රැතියෙහි සහ ජනගායනයෙහි නොමඳ සේවනයෙන් වන නිසා ය. ඒ අනුව, ජැක්සන් ඇන්තනි ගේ ගායන සම්ප්‍රදානය හැදෑරීමෙන් අනාදිමත් කාලයක සිට පැවත එන සිංහල ජන ගායනා සම්ප්‍රදායෙහි තිබෙන ස්වයංසිද්ධ විභවතාව පිළිබඳව ශාස්ත්‍රාලයීය අධ්‍යයනයක් සිදු කිරීමට ද මහඟු අවස්ථාවක් උදා වන්නේ ය. පණ්ඩිත් අමරදේවයන් ද ජන, බටහිර සහ ජනප්‍රිය ආරේ ගීත නිර්මාණ සිදුකර ඇතත්, ඵ් සෑම අවස්ථාවකදී ම පාහේ අමරදේව සම්ප්‍රදායෙන් සිදුව තිබීමත් සැලකිය යුතු වේ. විශේෂයෙන් ජැක්සන් ඇන්තනි විසින් ඉදිරිපත් කරන ලද ‘කළු ගඟ දිගේ’ වැනි නිර්මාණශීලී විද්‍යුත් මාධ්‍ය ගවේෂණාත්මක වැඩසටහන්වලින් පවා ප්‍රකට වන්නේ, මෙවැනි වාර්තා රංග සහිත ටෙලිවිෂන් මාධ්‍ය වැඩසටහන්වලින් නිදර්ශනය වන්නා වූ ජැක්සන් නමැති සුවිශේෂ ස්වදේශික ගායනවේදියාගේ පරිණාමය හෙවත් රූපාන්තරණය අතිශයින් වැදගත් බව ය. විශේෂයෙන් ඔහුගේ ‘කළුගඟ දිගේ’ වැඩසටහනෙහි ‘වන්දනාකාරයා’ ලෙස සිරිපාදය කරුණා කරමින්, සැබෑ වන්දනාකරුවකුගේ ස්වභාවයෙන් ජනකවි, ජනගායනා, සවුදං, සැහැලි ආදිය ගායන අභ්‍යාස කරන සමය වන විට ජැක්සන් ඇන්තනි, ඔහුගේ පියා වන රාගම පොඩිවී කුඹුරේ බෙනඩික් ඇන්තනි නම් වූ ජනගායන ශිල්පියාගෙන් ලද ආභාෂයෙන් පුරුදු පුහුණු වී තිබුණු සරල නිර්ව්‍යාජ සිංහල ගායන ශිල්පය, නෙවිල් ඩයස් සුබසිංහ නූතන නාට්‍යකරුවා ගේ නාට්‍යවල තිබුණු නූතන ජන ගායනා ද, ඩබ්. බී. මකුලොළුව ජන නාට්‍යවේදියාගේ ජනනාට්‍ය සම්ප්‍රදායේ ‘දෙපානෝ’ සහ දයානන්ද ගුණවර්ධන සූරීන් ගේ නූතන ජන නාට්‍ය ආරේ ‘මධුර ජවනිකා’ ජන වාර්තා රංගයට අන්තර්ගත බහුශ්‍රත ජන ගායනා ද පුහුණුව ලැබීමෙන් පසු ජයන්ත චන්ද්‍රසිරි ගවේෂණශීලී වේදිකා නාට්‍යවේදියා ගේ ‘මෝරා’ වේදිකා නාට්‍යයට සම්බන්ධව ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් යටතේ ඔපෙරා සම්ප්‍රදායේ ගායන ශිල්ප ක්‍රම ද ප්‍රගුණ කිරීමෙන් පසු, විවිධ නිර්මාණාත්මක ජන ගායනා ද, ‘රිදී රැයක්’ වැනි නූතන ප්‍රාසාංගික නිර්මාණවලට ද දායක වෙමින් ආචාර්ය රෝහණ වීරසිංහ වැනි ප්‍රවීණ නූතන සංගීතවේදීන් යටතේ විචිත්‍ර සිනමා ගීත ගයමින් ද, ‘මා නොවන මම’, ‘ලෙය සහ ලය’ වැනි බහුවිධ ටෙලිවිෂන් වැඩසටහන් ඔස්සේ විවිධ පර්යේෂණකාමී තරුණ සංගීත නිර්මාණකරුවන් යටතේ නව නිර්මාණ සහිත ගායන ශිල්පයෙහි සැලකිය යුතු පරිචයක් ලබා තිබුණු ආකාරය අවධානයට ලක් කරනු මනා ය. ඒ අතර විශේෂ වශයෙන් ධම්ම ජාගොඩ සහ ඔස්ටින් මුණසිංහ ආනන්ද පෙරේරා, ඇන්තනි සුරේන්ද්‍ර, සංගීත් වික්‍රමසිංහ වැනි නව්‍යකාරක ප්‍රවීණ සංගීතවේදීන්ගෙන් සමන්විත ‘සිහ ශක්ති’ සංගීත කණ්ඩායම සමග සමීපව කටයුතු කරමින් ලබාගන්නා ලද නූතනවාදී ව්‍යවහාරික සංගීත දැනුම් පද්ධතිය ද ජැක්සන්ගේ කුසලතා වෘද්ධිය කෙරෙහි, නන්විධ ආකාරයෙන් බලපවත්වන්නට ඇතැයි අනුමාන කළ හැකි ය. එසේම, ‘කළුගඟ දිගේ’ පාරිසරික වාර්තා වෘත්තාන්තයේ 3-4 වැනි කතාංගවලට අන්තර්ගත;

“පෙළ පෙළ ගජ තුරඟුන් පැන නැංගා
කෙළ කෙළ බැසයන්නේ හඬ නංගා,..”

ගායනවේදී ජැක්සන්…

වැනි ගැයුම්වලදී ඔහු විසින් ප්‍රකට කෙරෙන ගායන චමත්කාරය වූ කලි, ඉහතින් සඳහන් කරන ලද විවිධ ගැයුම් අභ්‍යාසවලින් පෝෂණය කර ගැනුණු බහුශාබ්දිකතාව නිසාම සිදු වූවක් බව පෙනී යයි. එසේම බෙහෙවින් අභ්‍යාසවෘද්ධ වූ ජැක්සන් ඇන්තනි ගේ රංග කාර්ය කේන්ද්‍රගත නිර්මාණශීලී ජීවිතයෙන් උකහා ගන්නා ලද කාරක හේතුයුක්ත ගායන ශ්‍රී ලාංකික ගායන ක්ෂේත්‍රයේ ලා සිදුව තිබෙන අතිශය විරල සිදුවීමක් වන්නේ ය.

ජැක්සන් ඇන්තනි විසින් ප්‍රකට කෙරෙන ගායන චමත්කාරය වූ කලි, ඉහතින් සඳහන් කරන ලද විවිධ ගැයුම් අභ්‍යාසවලින් පෝෂණය කර ගැනුණු බහුශාබ්දිකතාව (polyphonic) නිසාම සිදු වූවක් බව පෙනී යයි. එසේම බෙහෙවින් අභ්‍යාසවෘද්ධ වූ ජැක්සන් ඇන්තනි ගේ රංග කාර්ය කේන්ද්‍රගත නිර්මාණශීලී ජීවිතයෙන් උකහා ගන්නා ලද ‘රූපණය – ප්‍රමුඛ’ ස්වකීය ගායන ශ්‍රී ලාංකික ගායන ක්ෂේත්‍රයේ ලා සිදුව තිබෙන අතිශය විරල සිදුවීමක් වන්නේ ය.

එනම්, පණ්ඩිත් අමරදේව, සී. ද එස්. කුලතිලක – ඔස්ටින් මුණසිංහ, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, ක්ලැරන්ස් විජේවර්ධන වැනි චතුර්විධ සම්ප්‍රදායන්ට අයත් අග්‍රගන්‍ය සංගීතවේදීන්ගේ නිර්මාණ විවිධත්වය සඳහා යථාකාරයෙන් දායක වෙමින්. ජැක්සන් ඇන්තනි විසින් දක්වන ලද ප්‍රබල ‘වේදයිතගමනයක්’ (emotional journey) සහිත ගායන සමාර්ථ්‍යය අවිවාදයෙන් සම්භාවනාවට පාත්‍රවිය යුන්තක් බව කියනු මනා ය.

ගායනවේදී ජැක්සන්…

● කුමාර ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment