රේගුව වාර්තා පොතට ආදායම බිලියන 970ක්

102

ශ්‍රී ලංකා රේගුව විසින් ඉතිහාසයේ එකතු කළ වැඩිම ආදායම වන රුපියල් බිලියන 970ක් උපයා ගැනීමට 2023 වසරේදී සමත් වී ඇත.

මීට පෙර රේගුව උපයා ගත් වැඩිම ආදායම 2018 වසරේදී වාර්තා වී තිබූ අතර එය රු. බිලියන 923ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කරයි.

2023 වසර මුලදී මුදල් අමාත්‍යාංශය විසින් රේගුවට රුපියල් බිලියන 1,217 ක ආදායම් ඉලක්කයක් ලබා දී තිබූ අතර රට තුළ පැවැති අයහපත් මූල්‍යමය වාතාවරණය සහ පනවා තිබූ ආනයන සීමා සැලකිල්ලට ගෙන එම ඉලක්කය රු. බිලියන 893ක් දක්වා පසුව සංශෝධනය කළ බව ද සීවලී අරුක්ගොඩ මහතා කියා සිටියේය.

2023 වසරේදී රේගුව උපයා ගත් රුපියල් බිලියන 970 ක මුදල සංශෝධිත ඉලක්කය ඉක්මවා 109% ක වර්ධනයක් පෙන්නුම් කරන අතර එය වසර මුල ලබාදී තිබූ ඉලක්කයෙන් 80%ක් ඉක්මවා යෑමක් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

2022 වසරේදී රේගුවට ලැබී තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 730 ක් වූ අතර එම වසරේදී රේගුව ඉපැයූ ආදායම රුපියල් බිලියන 708 කි. ඒ අනුව 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී 138% ක පමණ ආදායම් වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment